Powered by Blogger.
free counters










ආර්ය මාර්ගය කියන්නේ සත්‍ය වූ උසස්ම මාර්ගයයි. පුද්ගලයා වැරැදි මාර්ගයෙන් මුදාගෙන සුමගට නිවැරැදිමගට යාමට ආර්ය මාර්ගය පැහැදිලි කළා. නුවණැති පුද්ගලයා තාවකාලික සතුටට වඩා දිගු කාලීන සැනසුම ලබන්නට මාර්ගය සකස් කරගන්නවා. තාවකාලික සතුට තුළ හැමදාම දුක පවතිනවා. එනිසා ධර්මය තුලින් සැමදා සැනසුම් ලැබිය හැකිවේ.

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා
සම්බුද්ධස්ස
කම්මං විජ්ජා ච ධමෙමා ච ශීලං ජීවිතමුත්තමං
එතෙන මච්චා සුජ්ඣන්ති
න ගොත්තෙන ධනේනවා
(සංයුත්ත නිකාය, දෙවතා සංයුත්තය ජේතවන සූත්‍රය)

කාරුණික පින්වතුනි!

තථාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් අවබෝධ කරගැනීමෙන් ජීවිතයේ මහා සැනසිල්ලක් ලබාගන්න පුළුවන්. සම්බුදු දහම පිළිබඳව නිතර නිතර මෙනෙහි කරන්න ඕනෑ.

සත්‍යය කුමක්ද කියල තේරුම් ගන්න නොහැකි වූ විට හැම ක්‍රියාවක්ම කරන්නේ අනවබෝධයෙනි. අනවබෝධයෙන් ක්‍රියා කරන කොට එහි අවසාන ප්‍රථිපලය දුකයි. එනිසා පින්වතුනි, සත්‍යය අසත්‍යය තේරුම්ගෙන ජීවත් වීමෙන් මෙලොව සැනසීමත් පරලොව සුගතියක් උදාකර ගන්න පුළුවන්.

ඉහතින් දක්වන ලද ගාථා පාඨය සඳහන් වන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයට අයත් ජේතවනාසූත්‍රය තුළයි . එහි සඳහන් අන්දමට කර්මයද, විද්‍යාවද සමාධියද, ධර්මයද උතුම් සීලයද තුලින් සත්වයෝ පවිත්‍රත්වයට පත්වෙයි. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් පිරිසුදු නොවේ යනුවෙන් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා අරභයා සැවැත්නුරව ජේතවනාරාමයේදී දේශනා කරන ලදී. තවදුරටත් ධර්මය පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ

“ තස්මා හි පණ්ඩිතො පොසො
සම්පස්සං අත්‍ථ මත්තනො
යොනිසො විවිනෙ ධම්මං
එවං තත්‍ථ විසුජ්ඣති “

නුවණැති පුද්ගලයා තමාගේ අභිවෘද්ධිය, දියුණුව යහපත දකිමින් නුවණින් දහම් රැස් කරන්නේය. මෙසේ ඒ ආර්ය මාර්ගයේ පිරිසුදු වෙයි.

පින්වතුනි! ආර්ය මාර්ගය කියන්නේ සත්‍ය වූ උසස්ම මාර්ගයයි. පුද්ගලයා වැරැදි මාර්ගයෙන් මුදාගෙන සුමගට නිවැරැදිමගට යාමට ආර්ය මාර්ගය පැහැදිලි කළා. නුවණැති පුද්ගලයා තාවකාලික සතුටට වඩා දිගු කාලීන සැනසුම ලබන්නට මාර්ගය සකස් කරගන්නවා. තාවකාලික සතුට තුළ හැමදාම දුක පවතිනවා. එනිසා ධර්මය තුලින් සැමදා සැනසුම් ලැබිය හැකිවේ.මෙහි “ කම්මං” යන්නෙන් දැක්වූ දහම් පදය දෙස විමසා බලමු.

“කම්මස්ස කොම්හි කම්ම දායාදො කම්ම යොනි කම්ම බන්ධු කම්ම පටිසරණො...” යනුවෙන් කර්මය සසරේ කරන ලද ක්‍රියාවන්හි දායාදයක් ලෙස විස්තර කෙරේ. කර්මය සසරේ කරන ලද කුසල් අකුසල් වලට නෑකම් කියනවා. තම ඥාතියා යහපත් නම් උදවු උපකාර තිබෙනවා. ඒ ඥාතියාම තරහ වුනොත් පලිගැනීමට පවා උත්සාහ කරනවා. කර්මයත් එහෙමයි. යහපත් ක්‍රියා අප පසුපස එන සෙවණැල්ල මෙන් අපේ සැපතට හේතු වෙනවා. අකුසල කර්ම ගොනා පසුපස ඇදගෙන යන කරත්තය මෙන් වේදනාව දුක පිණිස පවතිනවා. එසේම කර්මය භවයෙන් භවයට දායාදයක් ලෙස ගමන් කරනවා. එනිසා අපට දායාද කර ගන්නා දේ හොඳ දෙයක්ම දායාද කරගන්න ඕනෑ මොකද අපි කරන“කර්ම “ අපේ ජීවිත ගමනේ අවසන් තීරණයට පවා හේතුවෙන නිසා. ඒ බැවින් නරක ක්‍රියාවෙන් ඈත් වීමට නම් යහපත් නිවැරදි ක්‍රියාවන් වෙත සිත හුරුපුරුදු කරගන්නට ඕනෑ.යහපත් නිවැරැදි ක්‍රියාවන්ට මුල් වෙන්නේ යහපත් සිතිවිලි ඊර්ෂ්‍යාව ,ක්‍රෝධය, වෛරය, පලිගැනීම තවත් කෙනෙකුට හානි කරන බැවින් අපේ සිතට සිතිවිලි නැගුණු විට අප කල්පනා කල යුත්තේ අපේ සිත තුළ ඇතිවූ අකුසල මූල කවදා හෝ අපටම දුක පිණිස පවතින බව නුවණින් කල්පනා කරන්නට ඕනෑ. එය සංසාර ගමනේ සැනසීමට හේතු වනු ඇත.

“ විජ්ජා” යන වචනයෙන් අර්ථවත් වෙන්නේ නූතන විද්‍යාව නොවේ. නූතන විද්‍යාවේ දැක්වෙන්නේ නිගමනයි. නිගමනය තවත් පරීක්‍ෂණයකින් නිරීක්‍ෂණයකින් වෙනස් වීමට ඉඩ තිබේ. එබැවින් එය පරම සත්‍යයද විය නොහැකිය. බුදු දහම විද්‍යාව පිළිබඳ දක්වන ආකල්පය නම් සත්‍යයි. එනම් ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. බුද්ධත්වයට පත්වන්නේද සත්‍යය කුමක්දැයි අවබෝධ කරගැනීමෙනි. ‘විජ්ජා සෙට්ඨං උප්පාදො” යන්නෙන් සත්‍යයේ උපත ශ්‍රේෂ්ඨයි යනුවෙන් හඳුන්වනවා. ලෝකයේ ධර්මය වෙනුවට අධර්ම යදින ඇතැම් දෙනා දකින්නට තිබෙනවා. අන්ධ භක්තියට යොමු කරන කණ්ඩායම් මගින් සත්‍ය වටහා නොගෙන අදුරට ගමන් කරනවා. බටහිර සමහර මිනිස්සු, “ විජ්ජා” හෙවත් ධර්මයේ සත්‍යතාව දිවි දෙවෙනිකොට සුරකිමින් ආධ්‍යාත්මික දියුණුවට කැපවෙනවා. එය අගය කල යුත්තකි. මනුෂ්‍යයා ධර්මයට ලංවෙන්නට ඕනෑ. සැනසුම තිබෙන්නට ඕනෑ හිතේ. කොයිතරම් ධනය බලය තිබුණත් හිතේ සැනසුමක් නැත්නම් ධනයෙන් බලයෙන් සෙතක් නැහැ. අඟහිඟකම් තිබෙන ඇතැම් මිනිස්සු හිතනවා සැපවත් ජීවිතයක් තිබෙන්නේ ධනය බලය තිබේනම් පමණයි කියලා. ඇත්තනම් එහෙම නැහැ. සැබෑ ධනවත්කම පවතින්නේ කෙනෙකුගේ හිතේ. තිබෙන සැනසීම මතයි එය මෙලොවට පමණක් නොවෙයි. පරලොව සුගතියටත් හේතුවෙනවා.

“ සමාධි” කියලා මේ ගාථාවේ දැක්වෙන්නේ තමාට නො බිඳෙන සිතක් ඇතිවෙන්නට ඕනෑ. “ සීලං” කියල දැක්වෙන්නේ තමා වරදින් මිදීමට ගන්නා උත්සාහයයි. අපේ සමාජය කොයිතරම් සිල්ගන්නවද ,සීලය රැකිය යුතුයි“ සීලං සග්ගස්ස සෝපානං” සීලය නම් නිවනට යන හිණිමගයි. ඉනිමගේ ගමන්කොට එතෙර වෙන්නට ඕනෑ. ධර්මය පහුරකට උපමා කළ බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ධර්මය අවශ්‍ය මේ සසර කතරින් එතෙරවීම සඳහායි. සීලයෙන් සමාධියට යා යුතුයි. සමාධිගත පුද්ගලයාට කැඩෙන්න සීලයක් නැහැ. ඔහු වරදින් ඈත් වූ කෙනෙක් සමාධියේ ඉඳගන ඊටත් එහාට යන්නට ඕනෑ. ඒ තමයි ප්‍රඥාව කියල කියන්නේ. සීල, සමාධි, ප්‍රඥාවෙන් තමයි නිවන් දකින්න තිබෙන මග. එහි අනුගමනය කලයුතු කාරනා අටක් තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දක්වලා තිබෙන්නෙ. ඒ උතුම් මග අනුගමනය කළ උතුමන් සසර කතරෙන් නිදහස් වී නිවන් දුටුවා.

අපද ඒ උතුම් නිවන් මග යාමට වැරැදි ක්‍රියාවන්ගෙන් නිදහස් වී යහපත් නිවැරැදි ක්‍රියාවන් අනුගමනය කරන්නට ඕනෑ.අවිද්‍යාව නමැති අන්ධකාරයේ නොසිට මනසින් ධර්මය දකින්නට ඇත්ත ඇති සැටියෙන් දකින්නට, ධර්මය අවබෝධ කරගන්නට ඕනෑ. මේ වස් කාලය තුල කුසල් කිරීමෙන් බිනර පුන් පොහෝ දිනය අර්ථවත් කරගෙන ජීවිත යථාර්ථය අවබෝධ කර ගැනීමට අදිටන් කරගන්න.

ඔබට තෙරුවන් සරණින් සැනසුම ලැබේවා..!
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
විතාරන්දෙණියේ මේධානන්ද හිමි

........................................................................................................................................

සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුද්ධත්වය ප්‍රතිඥාකළ බුදුරජාණන් වහන්සේ මෙම ධර්මය අවබෝධ නොකරන ලදැයි පැවිද්දෙක්, බ්‍රාහ්මණයෙක්, දෙවියෙක්, මාරයෙක් බ්‍රහ්මයෙක් හෝ ලෝකයේ කවරෙකුට හෝ ප්‍රකාශ කිරීමට අවකාශ නැත්තේමය. එනිසා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ විශාරද ඤාණයෙන් යුක්ත වන සේක. ආශ්‍රවක්‍ෂයෙහි විශාරද ඥානය. කාමශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යා ආශ්‍රව නමින් ආශ්‍රව ධර්ම සතරකි. මෙම සියලු ආශ්‍රව ධර්මයන් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රහාණය කළ සේක.

නමෝ තස්ස භාගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
වේසා රජ්ජානි චත්තාරි
බුද්ධත්තේ ආසවක්ඛයේ
අන්තරායේච නිය්‍යානේ
ගේහි බූද්ධෝ විසාරදෝ


පින්වත්නි,
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිවු විශාරද ඤාණයන්ගෙන් සමන්නාගත වන සේක.
බුද්ධත්වය විශාරද ඤාණය
ආශ්‍රවක්ෂය විශාරද ඤාණය
අන්තරායිකය විශාරද ඤාණය
නෛර්යාණිකය විශාරද ඤාණය
යනු එම විශාරද නුවණ සතරයි.
විශාරද බව යනු බියක් තැති ගැන්මක් නැත්තා වූ නිර්භය භාවයයි. එමෙන්ම යම් යම් විෂයයන් පිළිබඳ සියල්ල දන්නා සියල්ල දක්නා සව¢ප්‍රකාරයෙන්ම අවබෝධ කළ කිසිවකුටත් නොදෙවෙනි වූ අනන්ත වූ ඥානයයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම සිවු විශාරද ඥානයන්ගෙන් සමන්නාගත වන බැවින් සැමකල්හිම සෑම තන්හිම විශාරද වන සේක. විසි අසංඛ කල්ප ලක්ෂයක් පුරා පුරනා ලද අනන්ත වූ බ්‍රහ්ම විහාර ගුණයන්ගේද සාරාසංඛ කල්ප ලක්ෂයක් පුරා පුරනා ලද සමතිස්පාරමී ගුණයන්ගේද බලමහිමයෙන් තථාගතයාණන් වහන්සේට මෙම සිවු විශාරද නුවණ පහළ වූ සේක.
අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ ඥාන විභංග දේශනාවෙහි සිවු විශාරද ඤාණ මෙසේ සඳහන් වේ. බුද්ධත්වයෙහි විශාරද ඤාණය.
සත්‍ය අවබෝධ කළ බැවින්ද, අන්අයට අවබෝධ කර වූ බැවින්ද, සියල්ල දන්නා බැවින්ද, සියල්ල දක්නා බැවින්ද, ස්වයං අවබෝධයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බැවින්ද, ආශ්‍රව ක්‍ෂයකර කෙළෙස් නින්දෙන් අවදි වූ බැවින්ද, වීතරාගී බැවින්ද, වීත දෝශ බැවින්ද, වීත මෝහ බැවින්ද, ඒකායන මාර්ගයේ ගමන්කර අනුත්තර සම්බෝධියට පත් වූ බැවින්ද, අබුද්ධිය නසා බුද්ධිය හෙවත් විද්‍යාව පහළකර ගත් බැවින්ද, බුද්ධ නම් වනසේක. මෙම බුද්ධනම් වූ උත්තරීතර වූ උත්තම වූ නාමය මෑණියන්ගෙන්, පියාණන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් , මිතුරන්ගෙන්, නෑයකුගෙන්, ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගෙන්, දෙව් බඹුන්ගෙන් ලැබුවක් නො වන්නේය. එය බුද්ධගයා බෝධි මණ්ඩලයේදී සත්‍ය අවබෝධ කර සර්වඥතා ඤාණයෙන්ම ලැබූ ප්‍රතිලාභයක් බැවින් බුද්ධ නම් වන සේක. ඒ උත්තරීතර වූ බුද්ධ රාජ්‍යයට පැමිණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කළ චතුරාර්ය සත්‍ය පිළිබඳ මෙසේ ප්‍රකාශ කළ සේක.
‘’මහණෙනි, මම අතිශයින්ම පරිශුද්ධ වූ මෙම චතුරාර්යය සත්‍ය ධර්මය පිරිවැටුම් තුනකින් යුක්තව දොළොස් ආකාරයකට නැවත ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළෙමි. දෙවියන්, මරුන්, බඹන්, ශ්‍රමණ බ්‍රාහ්මණයින්, මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාවට මා සර්වඥතා ඤාණය අවබෝධ කළ බවට ප්‍රකාශ කළේ ඉන් පසුවය. මම පළමු වරට පස්වග තාපසයින් වහන්සේලාට මා බුදු බවට පත්වූ බව ප්‍රකාශ කළෙමි. එම වචනය දස දහසක් ලෝකධාතු දෝංකාරයදී කම්පා වූහ. විශාලා මහනුවර ගෝතමක චෛත්‍යයේදී පන්සියයක් භික්ෂූන් වහන්සේ හමුවේ බුදුබව ප්‍රකාශ කළ අතර තෙවරක් පොළොව කම්පා විය. සාකේතනුවර කාලකාරාමයේ කාලකාරාම සූත්‍ර දේශනාවේදී පස්වරක් බුදුබව ප්‍රකාශ කළ අතර පස්වරක් පොළොව කම්පා විය. රජගහනුවර අඹ වනයේදී හැට දෙවාරයක් බුදුබව ප්‍රකාශ කළ අතර හැට දෙවාරයක් පොළොව කම්පා විය. එසේම සේල බ්‍රාහ්මණයාට
අභිඤෙඤය්‍යං අභිඤ්ඤාතං
භාවේතම්බඤච භාවිතං
පහාතබ්බං පහීනංමේ

තස්මා බුදෙධීස්මි බ්‍රාහ්මණ යනුවෙන් බ්‍රාහ්මණය මා විසින් විශිෂ්ඨ ඤාණයෙන් දතයුතු වූ ආර්යය සත්‍ය විශිෂ්ඨ ඤාණයෙන් අවබෝධ කළෙමි. භාවනා වශයෙන් වැඩිය යුතු වූ මාර්ගය භාවනාවෙන් වැඩුයෙමි. ප්‍රහාණය කළ යුතු වූ සමුදය ප්‍රහාණය කළෙමි. එනිසා බ්‍රාහ්මණය මම බුද්ධ වෙමි’’. එම අවස්ථාවේ සේල බ්‍රාහ්මණයා ඇතුලු තුන්සිසයක් මානවකයෝ පැවිදිව අර්හත් ඵලයට පත්වූහ.
එබැවින් සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුද්ධත්වය ප්‍රතිඥාකළ බුදුරජාණන් වහන්සේ මෙම ධර්මය අවබෝධ නොකරන ලදැයි පැවිද්දෙක්, බ්‍රාහ්මණයෙක්, දෙවියෙක්, මාරයෙක් බ්‍රහ්මයෙක් හෝ ලෝකයේ කවරෙකුට හෝ ප්‍රකාශ කිරීමට අවකාශ නැත්තේමය. එනිසා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ විශාරද ඤාණයෙන් යුක්ත වන සේක.
ආශ්‍රවක්‍ෂයෙහි විශාරද ඥානය. කාමශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යා ආශ්‍රව නමින් ආශ්‍රව ධර්ම සතරකි. මෙම සියලු ආශ්‍රව ධර්මයන් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රහාණය කළ සේක. බුදුරජාණන් වහන්සේ මෙම ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය නොකළේයැයි ප්‍රකාශ කිරීමට තරම් සමතෙක් ශ්‍රමණ, බ්‍රාහ්මණ, ගෘහපති, දේව, මාර, බ‍්‍රහ්ම ආදී කිසිවකුත් අතර නැත්තාහ. තථාගත සම්මා සම්බුදුරජාණ් වහන්සේ බෝධිමූලයේදී සෝතාපත්ති මාර්ගයෙන් දිට්ඨාශ්‍රවයද, අනාගාමී මාර්ගයෙන් කාමාශ්‍රවයද, අරහත්මාර්ගයෙන් භවාශ්‍රව සහ අවිද්‍යා ආශ්‍රවද ප්‍රහාණය කළ සේක.
මෙසේ සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කළ බුදුරජාණන් වහන්සේ බියක්, තැති ගැන්ම නැත්තා වූ නිර්භය භාවයෙන් යුක්ත ආශ්‍රව ක්‍ෂයෙහි විශාරද ඤණයෙන් යුක්ත වන සේක.
නිර්වානාබෝධයට බාධාකරවන අන්තරායික කරුණු පසක් බුදුරජාණන් වහන්සේ විශාරද ඤාණයෙන් මනාව ප්‍රත්‍යක්‍ෂකර දේශනා කළ සේක.
කර්මාන්තරාය යනු පඤ්චානන්තර්ය පාප කර්මයයි. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝභේදය, බුදු සිරුරේ ලේ සෙලවීම යන අනන්තරිය පාපකර්ම සුගති උත්පත්තියට හා නිවන් අවබෝධයට බාධා කෙරෙති. මෙම පාප කර්මයන් කළ පුද්ගලයා නියත වශයෙන්ම අපාය උත්පත්තිය ලබයි.
ක්ලේශාන්තරාය යනු නියත මිත්‍යා දෘෂ්ඨියයි. මිත්‍යා දෘෂ්ටිය නාස්තික, අහේතුක අක්‍රිය වශයෙන් ත්‍රිවිධාකාරය. කළ කර්මයේ විපාක නැතැයි යන මතය නාස්තික දෘෂ්ටියයි. සසර ගමන හේතුවක් නැතිව ස්වභාවයෙන් ඇතිවන්නෙක් යැයි සිතීම අහේතුක දෘෂ්ටියයි. සිත, කය, වචනය තුළින් කෙරෙන කවර දෙයකට වුවද කර්මයක් සිදුවන්නේ් නැතැයි යන මතය අක්‍රීය දෘෂ්ටියයි.
විපාකාන්තරාය යනු අහේතුක හා ද්විහේතුක ප්‍රතිසන්ධියයි. දුගති අහේතුක හා සුගති අහේතුක යනුවෙන් මෙය දෙවැදෑරුම්ය. සතර අපාය දුගති ප්‍රතිසන්ධිය ලබයි. මිනිස් ලොව හා බුම්මාටු දෙවියන් අතර සුගති අහේතුක ප්‍රතිසන්ධිය ලබයි. අන්ධ, ගොලු, බිහිරි, උන්මත්තක උත්පත්තියට හේතුවන්නේ සුගති අහේතුක ප්‍රතිසන්ධියයි. ලෝභ ද්වේශ මෝහ චෛතසිකයන් ඇත්තේ අහේතුක ප්‍රතිසන්ධියයි. ලෝභ, ද්වේශයන්ගෙන් මිදුන මෝහ චෛතසිකය ඇත්තේ ද්විහේතුක ප්‍රතිසන්ධියයි. මෙම අයට ධ්‍යානමාර්ග කිසිවක් ලැබිය නොහැක. එබැවින් මෙය අන්තරායික ධර්මයකි. උපවාදාන්තරය යනු මාර්ගඵල ආර්යය උත්තමයාණන් වහන්ස්ලාට ගර්හා කිරීමයි. ආඥාවෘති ක්‍රමණාන්තරාය යනු සමාදන්වූ ශික්ෂාපද කඩ කිරීමයි. ඉතා කුඩා ශික්ෂා පදයක් කැඩු භික්ෂුව ඒරකපත්ත නාරජුව ඉපිද බුද්ධාන්තරයක්ම අහේතුක ප්‍රතිසන්ධිය ලැබීය. නිවනට බාධාවන මෙම අන්තරායික ධර්ම සාරාසංඛ කල්ප ලක්ෂයක් තුලවත් බෝසතාණන් වහන්සේ වෙතවත් තිබුණේ යයි කිසිම දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයකුට මනුෂ්‍යයකුට හෝ ලෝකයේ කිසිම කෙනෙකුට අපවාද කළ නොහැකිය. මෙසේ බුදුරජාණන් වහන්සේ බියක්, තැති ගැනීමක් නැති නිර්භය වූ අන්තරායිකයෙහි විශාරද ඤාණයෙන් යුක්තවන සේක. නෛර්යාණිකයෙහි විශාරද ඤාණය බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ නෛර්යාණික ශ්‍රී සද්ධර්මය මුල මැද අග යහපත්ව නිවන් පිණිසම දේශනා කළ සේක. ආණා දේශනා, වෝහාර දේශනා, පරමත්ථ දේශනා වශයෙන් ත්‍රිපිටක ධර්මය සර්වඥතා ඤාණය පෙරදැරිව දේශනා කළ සේක. එය නෛර්යාණික නොවන්නේ යයි කිසිම දෙවියකුට මාරයෙකුට බ්‍රහ්මයකුට හෝ මෙලොව කිසිවකුට පැවසිය නොහැකිය. මෙසේ චතුවිශාරද ඤණයන්ගෙන් සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ භයක්, තැති ගැන්මක් නැති නිර්භය වූ විශාරදත්වයෙන් යුක්ත වන සේක.
ඔබ සැමට තෙරුවන් සරණයි...!
හබරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ
මැල්ලවගෙදර සමණ ධම්ම හිමි
......................................................................................................................................;

පැවැත්ම ඇති තැන නැවැත්ම...


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යථාපි මූලේ අනුපද්දවෙ දළ්හෙ – ඡින්නො පි රුඛො පුනරෙව රූහති
එවං පි තණ්හානුසයෙ අනූහතෙ – නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුනං



කාරුණික පින්වත්නි

නිවන යනු අප කිසිවෙකුටත් අත්දැකීමක් වී ඇති කාරණාවක් නොවේ. මෙතෙක් එය අපට අනුභූ®තියක් නොවේ. නමුත් බුදු දහමේ අභිලාෂය, බලාපොරොත්තුව, ඉලක්කය නිවනයි. එහෙයින් නිවන පිළිබඳ ධර්මානුකූල විග්‍රහයක් සිදු කිරීම අපගේ ඉදිරි ධර්මචර්යාවටත්, අවබෝධයටත් ඉතා වැදගත් වේ. නිවන කුමක් සඳහා ද? එසේ නැත්නම් නිවනෙහි අරමුණු කුමක් ද?
සාමාන්‍යයෙන් ලොව ඕනෑම ආගමක් පහළ වන්නේ සත්ත්වයා පවතින තත්ත්වය තුළ පීඩාකාරීව ජීවත් වනවා යන හැඟීම නිසාය. මෙය අප ‘දුක්ඛ’ යනුවෙන් හඳුන්වමු. හැම ආගමකම අවසාන ඉලක්කයක් වේ. මේ ඉලක්කයේ දී අවසන් වශයෙන් අරමුණු කරන්නේ දුකින් තොර බවයි. දෙවියන් වහන්සේ වේවා, මහා බ්‍රහ්මයා වේවා, ඊශ්වරයා වේවා කිනම් පදාර්ථයක් විශ්වාස කළ ද සියලුම ආගමිකයෝ අවසානයේ දී දුකින් තොර බව අපේක්‍ෂා කරති. බුදු දහම එසේ නැවත දුක ඇති නොවන තත්ත්වයට පත්වීම, නූපදින තත්ත්වයට පත්වීම “නිබ්බානය” යනුවෙන් හඳුන්වයි. එය සුඛ හෝ දුක්ඛ යන ව්‍යවහාරයන්ට හෝ අප සම්මුති ලෝකයේ භාවිතා කරන කිසිදු නිර්ණායකයකට ඇතුළත් තත්ත්වයක් නොවේ.
දුක්ඛක්ඛය – දුක නැති කිරීම
තණ්හක්ඛය – තෘෂ්ණාව නැති කිරීම
විරාග - රාගය නැති කිරීම
නිබ්බාන - කෙලෙස් නිවා දැමීම

ආදී වචන රාශියක් නිවන හැඳින්වීම සඳහා යොදාගෙන තිබේ. මුලුමනින්ම ඇති නොවන පරිදි සසර අත්හිටුවීම, නතර කර ගැනීම හෝ නැතිකර දැමීම නිවන ලෙස බුදු දහම සඳහන් කරයි.
“තෙ ඛීණ බීජා අචිරුල්හිච්ඡන්දා – නිබ්බන්ති ධීරා යථායම්පදීපො” යනුවෙන් බීජ නැති වූ පසු යළි නොම ලියලන තෘෂ්ණාව ඇති ඒ රහතුන් පහන් මෙන් නිවී යන්නාහු යැයි රතන සූත්‍රය පෙන්වා දෙයි. එසේ වන්නේ නික්ලේෂී උතුමන් වහන්සේලාට ය. ඉන්පසු නැවත ඇතිවීමක් නැත. එවන් තත්ත්වය නිබ්බාන යන වචනයෙන් බුදු දහම පැහැදිලි කරයි.
නිර්වාණය අපට තේරුම්ගත හැකි ද? නිවන අපට අත්දැකීමක් නොවන නිසා එය අර්ථකථනය කිරීම අපහසු ය. ඉබ්බා ගොඩබිම හා මුහුදේ දෙකේ ම ඉන්නා සතෙකි. ගොඩබිම ඇවිද වතුරට යන ඉබ්බාට මාළුවෙක් හමුවේ. එහිදී ඉබ්බා මාළුවාට ගොඩබිමේ ස්වභාවය විස්තර කරයි. ඒ මෙසේය. ගොඩබිම බොහෝ රළු පෘෂ්ඨයකි. මෙහි බියකරු රළ නැත. මෙහි කිමිදෙන්නට බැරිය. එහෙත් මෙම විස්තරය පිළිගැනීමට මාළුවා සූදානම් නැත. එයට හේතුව මාළුවාට ගොඩබිම පිළිබඳ අත්දැකීමක් නැති හෙයිනි. එහෙයින් මිනිස් බස ගොඩනැගී ඇත්තේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියයන් ග්‍රහණය කර ගන්නා දේවල් විස්තර කිරීමට ය. නිවන වැනි සංස්කරණය නොවූ, අසංඛත වූ අපේ අත්දැකීමක් නොවූ දෙයක් විස්තර වන භාෂාත්මක ව ප්‍රකාශ කළ හැකිද යන්න ගැටළුවක් සේ දැනේ. එහි දී අපි බොහෝ විට අභාවාර්ථ පද භාවිතා කරමු. දුක්ඛක්ඛය, ව්‍යාපජ්ජ, විවට, ඛේම, කෙවල, අපවග්ග, විරාග, නිරෝධ, අසංඛත, සිව,අමථ, සුදුද්දස, සරණ, පරායණ, අනීතික ආදී වශයෙන් නිවන හඳුන්වන වචන වලින් වැඩි වචන ගණනක ඇත්තේ අභාවර්ථය යි. අභාවර්ථ යනු නැත යන්නයි. දුක නැති තැන, තෘෂ්ණාව නැති තැන, කෙලෙස් නැති තැන යනුවෙන් ය. එසේ නම් අප නිවන පිළිබඳ කථා කිරීම යනු ඇති කම හෙවත් පැවැත්ම ඇති තැන සිට නැතිකම හෙවත් නැවැත්ම ගැන කථා කිරීම යි. ඇති තැන යනු දුකෙහි, කෙලෙස්වල, උපතෙහි ඇති බවයි. නිබ්බානය අර්ථකථනයේ දී අපට කළ හැකි දේ අපට ඇති අත්දැකීම් තුළ සිට සාකච්ඡා කිරීම විනා අන් කළ හැකි යමක් නොමැත. සසරට අයත් අත්දැකීම් මත සිට නිවනට අයත් ස්වභාවය තේරුම් ගැනීම පහසු කාර්යයක් නොවේ.
බුදුහාමුදුරුවෝ දේශනා කර ඇති පරිදි පෘථග්ජන හැම කෙනෙකුගේ ම හිත ඕනෑම මොහොතක වෙනස් විය හැකිය. පෘථග්ජනයෝ නිරන්තරයෙන් ම මානසික වශයෙන් කිසියම් රෝගයකින් පෙළෙති. යම් විටෙක කය රෝගයකින් නො පෙළුනත් මනස නිරන්තරයෙන් ම රෝගයකින් පෙළෙන බව පෙනේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, මානය වැනි කාරණා නිසා අප මනසින් ලෙඩ වී සිටිමු. මෙසේ මානසික ප්‍රපඤ්චවල ගැලී ඉන්නා අපට විමුක්තිය ලබාගන්නා තුරු, කෙළෙස් අවසන් කරන තුරු දුක තුළ වේදනාව තුළ පීඩාව තුළ ජීවත් වීමට සිදුව ඇත. ස්කන්ධ යන සංකල්පයට අනුව බලන කල්හි මේ පංචස්කන්ධය බුදුදහමේ හඳුන්වන්නේ සසරට හේතුවන කරුණක් ලෙසින් නොවේ. පඤ්ච උපාදානස්කන්ධය සසර පැවැත්මට බලපාන සාධකය යි. පඤ්චස්කන්ධය බුදුවරයෙකුට ද ඇත. රූප, වේදනා, සංඥා සංඛාර, විඥාණය රහතුන්ට ද ඇත. නමුත් ඒ දේවල්වල නැවත ඇති වීමට හේතුව උපාදානය යි. එල්බ ගැනීමයි. මේ උපාදානස්කන්ධ පඤ්චකය දිගින් දිගට පවතින සත්ත්වයා හඳුන්වන්නේ සංසාර ගත සත්ත්වයා ලෙසයි.
ඛන්ධානං පටිපාටි
ධාතු ආයතනානි ච
අබ්භොච්ඡින්නං වත්තමානං
සංසාරෝති පවුච්චති

ස්ඛන්ධ, ධාතු, ආයතන ආදිය නොසිඳි දිගින් දිගට පැවැත්ම සසර යනුවෙන් හඳුන්වා ඇත. ස්කන්ධ යනු රූප වේදනා, සංඥා සංඛාර, විඤ්ඤාණයි. ධාතු යනුවෙන් අට්ඨාරස ධාතු හඳුන්වා දෙයි. එනම්,
චක්ඛු - රූප – චක්ඛු විඤ්ඤාණ
සෝත - ශබ්ද - සෝත විඤ්ඤාණ
ප්‍රාණ – ගන්ධ - ඝාණ විඤ්ඤාණ
කාය - පොට්ඨබ්බ – කාය විඤ්ඤාණ
මන – ධම්ම – මනෝ විඤ්ඤාණ

මේ අට්ඨාරස ධාතුන් ය. ද්වාදස ආයතන යනු ඉන්ද්‍රිය සහ අරමුණු වශයෙන් වන ආයතන දොළස යි. චක්ඛු ආදී ඉන්ද්‍රියයන් සයක් හා රූපාදී අරමුණු සය මෙහිලා ද්වාදසායතන යනුවෙන් හඳුනා ගත යුතුය. මේවා නොසි දී දිගින් දිගට පැවැත්මට අපි සංසාරය යයි කියමු. සංසාරය යනු ස්කන්ධ පංචකයේ නොනැවැතී පැවැත්ම යි. මේ නොනැවතී පැවැත්මට හේතු වනුයේ උපාදානය යි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තෘෂ්ණා ත්‍රිත්වය නිවන දුරස් කිරීමට හේතු වෙයි.




මෙම අර්ථකථනය දක්නට ලැබෙනුයේ චතුරාර්ය සත්‍ය විග්‍රහයේ ය. බුදුදහම පෙන්වන අයුරු දුක්ඛ යන්න පරිඤ්ඤෙය්‍යෙ ධර්මයකි. එනම් අවබෝධයට හෙවත් තේරුම් ගැනීමට ඇති කරුණකි. ඉන්පසු සමුදය යි, දුකට හේතුව යි. එය පහාතබ්බ ධර්මයකි. හෙවත් ප්‍රහාණය කළ යුතු වේ. එයට අප තෘෂ්ණාව යැයි කියමු. විමුක්තිය සච්ඡිකාතබ්බ ධර්මය කි. එනම් විමුක්තිය සාක්ෂාත් කළ යුතු දෙයකි. එමෙන් ම මාර්ගය භාවෙතබ්බ ධර්මයකි. වැඩිය යුතු දෙයකි. එහි එකක් අවබෝධ කළ යුතුය. තවෙකක් ප්‍රහාරණය කළ යුතුය. තවෙකක් වැඩිය යුතුය. තවෙකක් සාක්ෂාත් කළ යුතුය. චතුරාර්ය සත්‍යය විවිධ ක්‍රියාකාරිත්වයකින් යුතු උපකරණයක් මෙනි. ඒ ඒ අංග හතරට ඇත්තේ එකිනෙකට වෙනස් වූ කාර්යයන් හතරකි.
තෘෂ්ණාවෙහි යථා ස්වභාවය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මෙන්ම සච්ච විභංග සූත්‍රාදියෙහි ද විස්තර වන්නේ “යායං තණ්හා පොනොභවිකා නන්දිරාසගගතා තත්‍රතත්‍රාභිනන්දිනී කාම තණ්හා භව තණ්හා, විභව තණ්හා යනුවෙන් යම් තෘෂ්ණාවක් ඇත් ද පුනර්භවයට පදනම සලසයිද ඇල්මෙන් රාගයෙන් යුක්ත වූයේ ද, ඒ ඒ භවයන්හි අලවන්නා වූ ද, කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ආදිය තෘෂ්ණා ලෙසින් විස්තර වෙයි. කාම ලෝක එකොළහකි. මිනිස් ලොව, දිව්‍යලෝක සය හා සතර අපාය එම කාමලෝක එකොළස යි. මෙම කාම ලෝකයන්හි කාම සම්පත් ප්‍රාර්ථනා කරමින් ඇතිවන තෘෂ්ණාව කාම තණ්හා නම් වේ. භව තණ්හා නම් භවයන් ප්‍රාර්ථනා කරමින් ඇතිවන තාෂ්ණාවයි. මෙය ශාස්වත දෘෂ්ටිය පදනම් කරගෙන ඇතිවන්නකි. එනම් සදාකාලික ආත්මය පිළිබඳ විශ්වාසයෙන් යුත් පුද්ගලයාගේ දෘෂ්ටිය යි. විභව තණ්හා යනුවෙන් මරණින් පසු උපතක් නැතැයි පිළිගන්නා උච්ඡේද දෘෂ්ටිකයනට ඇතිවන තාෂ්ණාව පෙන්වා දෙයි. තුන්වැනි කාරණාව ලෙස නිවන දැක්වෙයි. “ යො තස්සායෙව තණ්හාය අසෙස විරාගනිරොධො චාගො පටිනිස්සග්ගියො මුත්ති අනාලයො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාණං” යනුවෙන් මේ තෘෂ්ණාව මුලිනුපුටා දැමීම, ඇල්ම සම්පූර්ණයෙන් ම අවසන් කිරීම, අත්හැර දැමීම, දුරින් දුරු කිරීම, මිදී යාම, නොඇල්ම නිබ්බාන යනුවෙන් අර්ථකථනය කොට ඇත. ඒ නිසා සසර පැවැත්මට හේතුවන මූලික ම සාධකය ලෙස බුදුදහම තෘෂ්ණාව පෙන්වා දෙයි. තෘෂ්ණාව යනු අප සසරට බැඳී ඇති හේතූන් ය. ඒවා අවසන් කිරීම නිවනයි.
නිර්වාණය අතින්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයෙන් මතු කරගත හැකි දෙයක්ද? නො එසේ නම් පාරිභෞතික සංකල්පයක් ද ? “ පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහී” නිවන – නුවණැත්තෝ තම තමා විසින් කළයුතු අවබෝධය යි. පච්චත්තං යන්න ප්‍රත්‍යක්‍ෂ යන අරුත නොදේ. පච්චත්තං යනු තම තමන් යන අරුතයි. එනිසා බාහිර ලෝකය තුළ ඇස, කන ආදිය ඉන්ද්‍රියගත අරමුණු ප්‍රත්‍යක්‍ෂ කිරීමට වඩා වෙනත් අරමුණක් බුදු දහමේ ඉගැන්වෙන පච්චත්තං යන්න තුළ පවතී. මෙය අපට අත්දැකීම් ඇති දෙයක් නොවේ. එසේ නම් නිතර ම වචනයට යා හැකි දුරකට ධර්ම දේශනා තුළින් අපට යා හැකිය. නමුත් ඉන් ඉදිරියට පුද්ගලයා තමාගේ මනසින් ඉතිරි කොටස ගොඩනගා ගත යුතුය. නිවන පිළිබඳ තාර්තිකයෝ විවිධ තර්ක කරති. ඉන් අපට විමුක්තිය සලසා ගත නොහැක.
ලෞකික යනු ලෝකයට අයත් යන අරුතයි. ලෝක + උත්තර ) වේ. ලෝකෝත්තර තත්ත්වයට පත් වූ නැවත එල්බ ගැනීමක්, ප්‍රාර්ථනාවක් අපේක්‍ෂාවක් නොමැත. පහනක් නිවුන පසු ඉහළට ගියා ද පහළට ගියා ද යන්න කිව නොහැක. එක දිශාවකට හෝ වෙනත් දිශාවකට ගියේ යැයි කිව නොහැක. තෙල් ඉවත් වූ පසු මුළුමනින් ම පහන නිවේ. තෙල් ඉවර වී නිවුන පහන යලි නොදැල්වේ. දුක නැති කිරීම විමුක්තිය යි. එය මිනිසාට මහත් සහනයකි. මෙය බුදුදහම පෙන්වන්නේ අතිශය සියුම් වින්දනීය තත්ත්වයක් ලෙසිනි. මෙහි වින්දනීය යන්න අප නිතර කථා කරන කාම වින්දනයක් හා සම්බන්ධ කර නොදැක්විය යුතුය. මේ වින්දනීය තත්ත්වය අකලංක වූ, විශ්වාසනීය වූ පිවිතුරු වූ, නිස්කලංක වූ තත්ත්වයකි.
දස සංයෝජනයට අයත් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටීඝ යන මේ දේවල් ඕරම්භාගය සංයෝජන ලෙස පෙන්වයි. පුද්ගලයාගේ කාම ලෝකවල ඇලීම සඳහා හේතුවන සක්කායදිට්ඨි විචිකිච්චා, සීලබ්බත පරාමාස යන කරුණු තුන සෝවාන් මාර්ග ඤාණයේ දී ප්‍රහීණ වේ. නමුත් කාමරාග හා පටිගරාග තවදුරටත් ඉතිරිව ඇත්නම් එය සකෘදාගාමී මාර්ගයේ දී ප්‍රහීණත්වයට පත්වේ. අනාගාමී මාර්ගයේ දී රූප රාග හා අරූප රාග තුනී වී අරහත් මාර්ගයේ දී සියල්ල මුළුමණින්ම ප්‍රහීණත්වයට පත්වේ. අනාගාමී මාර්ගයේ දී රූප රාග හා අරූප රාග තුනී වී අරහත් මාර්ගෙය් දී සියල්ල මුළුමනින් ම ප්‍රහීණත්වයට පත් වේ. මෙය ධර්මානුකූල අර්ථකථනය යි. මෙහි දී පැහැදිලි වන්නේ ක්‍රමානුකූලව අදියරෙන් අදියරට පුද්ගලයා සෝවාන් මාර්ග ඥානයේ සිට අරහත් ඵලය දක්වා ඇතිකර ගන්නා සංවර්ධනයක් පවතින බවයි. සෝවාන් මාර්ග ඤාණය ලැබූ තැනැත්තා සත්තක්ඛන්තු පරම නම් වේ. එහි තේරුම යළිත් භවයන් හතකට වඩා ඉදිරියට නොයන බවයි. එවන් පුද්ගලයින් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ,
“පථව්‍යා එක රජ්ජෙන - සග්ගස්ස ගමනෙන වා
සබ්බලෝකාධිපච්චේන - සෝතාපත්ති ඵලං වරං “

යමෙක් චක්‍රවර්ති රජ වුවත් සිටින්නේ සංසාරයේ ය. එබැවින් සක්විති රජ වීමටත් වඩා, දිව්‍යලෝකයට යාමටත් වඩා, සෝවාන් ඵලය උතුම් ය. බුදුදහමට අනුව සැප යන හැම සංකල්පයක් ම පෙරළීම නිසා අවසානයේ දුකක් බවට පත් වේ. මෙය විපරීනාම දුක්ඛ නමි. අප සැප යැයි සිතා ළඟා කර ගන්නා දේවල් දිගින් දිගට ගෙන යාමේ දී සැප යැයි සැලකීමට නොහැකි තත්ත්වයකට පත් වේ. එම තත්ත්වයෙන් අත්මිදීම සඳහා ය බුදු දහම විමුක්තිය හඳුන්වා දෙනුයේ. නිවනට කිසිවකු බිය විය යුතු නැත. නිවන තුළ අපට අප ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් අත්හැරිය යුතුය යනුවෙන් යමෙක් සිතන්නේ නම් එය වැරදි කල්පනාවකි. අප ඔවුන් හා එක්ව සිටින්නේ තාවකාලික කාලයක් පමණි. එසේ එක් වී සම්බන්ධතා ගොඩනගාගෙන කලක් ජීවත් වී අකැමැති වුවත් ඔවුන්ගෙන් වෙන් වී මේ ජීවිතය අවසන් කරමු.
යළිත් මෙවන් ශරීර කූඩුවක් ලබා ගනිමු. මේ අනුව අප වර්ධනය කරණුයේ සොහොන් ය. ජාති, ජරා, ව්‍යාධි, මරණ යන දුක්ඛ දෝමනස්සයන්ට උපායාසයන්ට ගොදුරුව දිගින් දිගට ගමන් කළා විනා ඉන් මෙතෙක් නොමිදුනෙමු. එසේ ඉන් මිදීම තුළින් “අවේදයිත් සුඛය” ස්පර්ශ කළ හැකිය. හැම සැපතක් ම වෙනස් වේ. අවේදයිත් සුඛය යනු වින්දනීය සුඛයක් නොව එය සර්ව කාලීනව නො වෙනස්ව ආපස්සට නොපෙරළෙන සැපතකි. විමුක්ති යනු විශේෂයෙන් මිදී යාමයි.
ඉහත සඳහන් තත්ත්වය අපට අනුභූතියක් නොවන හෙයින් එම තත්ත්වය පැහැදිලි කර ගැනීම අපහසුය. නමුත් නිවන පිළිබඳව අපි ඇති කරගන්නා නිවැරදි දැනුම යම් මට්ටමකට අපට විමුක්තිය ළඟා කර ගැනීමට උපයෝගී වේ. නිවන ලබා ගැනීම සඳහා පහදා ඇති මාර්ගය අනුගමනය කිරීම පමණකින් ම එය පසක් කළ හැකිවේ.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
රාජකීය පණ්ඩිත ආචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි
..............................................................................................................................................


අජානීය අශ්වයා අන් අයට කරදර කරන්නේ නැහැ. එලෙසම අජානීය පුරුෂයත් සමගියෙන්, ඉවසීමෙන්, කරුණාවෙන් කටයුතු කරනවා. ඔබත් එලෙස කටයුතු කරන්න. අජානීය අශ්වයා අන් අශ්වයන් වැඩ කලත් නොකළත් වැඩ කරනවා. තම වගකීම නිසි ලෙස ඉටු කරනවා. එමෙන්ම අජානීය පුරුෂයාත් අන් අය කළ නොකළ දේ නොසොයා තම වගකීම, යුතුකම ඉටුකරනවා. ශීල සමාධි ප්‍රඥා දියුණු කරනවා.


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
හිරි නිසොධො පුරිසො කෝච් ලෝකසමිං විහරති
යො නිනදං අප්පබෝධති අසො භද්‍රෙ කසාමිවාති


වාසනාවන්ත පින්වතුනි
බුදුබණ කියවනු කැමැති බුදුබණ අසනු කැමැති ධර්මය සාකච්ඡා කරනු කැමැති ඔබ ධර්මානු ධර්ම ප්‍රතිපත්ති අනුව කටයුතු කරන්නේ නම් මෙලොව සැප, පරලොව සැප හා නිවන් සැපත ද ළඟා කර ගැනීමට හේතුවේ.
ධර්ම දේශනයේ මාතෘකාව වශයෙන් මා තෝරා ගනු ලැබුවේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ සඳහන් වන හිරි සූත්‍රයයි. එක්තරා දේවතාවුන් කෙනෙකු විසින් අසන ලද පැනයකට බුදුරජාණන් වහන්සේ දෙන ලද පිළිතුරක් එම සූත්‍රය තුළින් පැහැදිලි කරනු ලැබේ.
හිරි නිසෙධෝ පුරිසො කෝච් ලෝකසමිං විජ්ජති
අජානිය අශ්වයා කස පහර වළක්වන්නාක් මෙන් නින්දාව වළක්වාලයිද එලෙසම ලජ්ජාවෙන් පව් බැහැර කරන අය ලොව ඇද්ද?
හිරි නිසොධා තනුයා යෙ චරන්ති සදා සතා යනුවෙන් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනු ලබන්නේ ලජ්ජාවෙන් පව් වළකන ලද අය සැමදා සිහි ඇතිව වාසය කරනු ලබයි. දුකෙහි කෙළවරට පත්ව විෂම ලෝකයේ සමව වාසය කරනු ලබන අය ස්වල්ප දෙනෙකු බව පැහැදිලි කළ සේක.
මෙම දෙසුම ධම්මපද පාලියේ දණ්ඩ වර්ගයේ පිළොතික තෙරුන්ගේ කථාවෙන් පැහැදිලි කරන්නට ද විය. එහි සඳහන් වන පරිදි ආනන්ද හිමියන් මග වඩිනා විට සිඟමන් යදින ළමයෙකු දැක මොහුගේ වාසනා ගුණය දැක පැවිදි වන්නට කැමැතිදැයි විමසූ විට අප වැන්නන් සසුනේ පැවිදි නො කරන බව ප්‍රකාශ කළා. එවිට ආනන්ද හිමියන් ප්‍රකාශ කරනු ලැබුවේ බුදුන් වහන්සේ කුල ගෝත්‍ර සොයන්නේ නැහැ. ඔබට පැවිදි වන්න පුලුවන්.ආනන්ද හිමියන් මේ අසරණ ළමයා පැවිදි කළා. තමාගේ කිලිටි ඇඳුම් සහ සිඟමන් යදින ලද පිඟාන ගසක් උඩ එල්ලා තැබුවා. කාලය ගෙවී යත්ම මෙම පිලොතික හිමියන්ට ගෙදර යන්නට අවශ්‍ය විය. එවිට පරණ ඇඳුම් එල්ලා තබන ලද ගස ළඟට ගොස් කල්පනා කරනවා මේ පරණ ඇඳුම් ඇඳ මේ පිඟාන රැගෙන සිඟමන් යදිනවාට වඩා මට මොනතරම් ප්‍රත්‍ය පහසුව සෙසු පහසුකම් පැවිදිව සිටිනවිට ලැබෙනවාද? කිහිප විටක් ඒ ගැන සිතා වීර්යය උපදවා රහත් විය. ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ මාතෘකා ගාථාව දේශනා කරමින් ලජ්ජාවෙන් පව් බැහැර කොට කුසලයට සිත යොමා රහත් භාවයට පත්වීම උතුම් බව පැහැදිලි කළ සේක.
අජානීය අශ්වයෙකු කස පහර වළක්වාලන්නා සේ අජානීය පුරුෂයාද ලජ්ජාවෙන් පව් බැහැර කරනු ලබනවා. අජානීය අශ්වයා පිළිබඳ විස්තරයක් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ උදාර සූත්‍රය තුළින් පැහැදිලි කර දක්වා තිබෙනවා. ඒ අනුව අජානීය අශ්වයා අජානීය ඇතා අජානීය පුරුෂයා මංගල වස්තු ලෙසයි සලකනු ලබන්නේ. අජානීය අශ්වයා ස්වාමියාට කීකරුයි. ඔහුගේ වැඩ කර දෙනවා. අජානීය අශ්වයාගේ මවුපියන් පිරිසුදුයි. චාරිත්‍ර ශීලය රැකිය යුතු උසස් ගුණ ධර්ම රැකීම ය. බැහැර කළ යුතු දේ බැහැර කිරීම වාරිත්‍ර ශීලයයි. මේ දෙක මව පියා වගෙයි. අජානීය අශ්වයා උපදින්නේ හින්දු නදී තිරයේ පමණයි. එලෙසම අජානීය පුරුෂයා උපදින්නේ බුද්ධ ශාසනයේ පමණයි. අජානීය අශ්වයා තණකොල කඩල යව බුදින විට පිළිවෙලකට කනු ලබයි. අජානීය පුරුෂයන් යෝනිසෝමනසිකාරයෙන් යුතුව සිහි කල්පනා ඇතිව සේඛීයාවල එන පරිදි න සුරු සුරු කාරකං භුඤජ්ස්සාමි සිකඛා කරණියා න හත්ථ නිල්ලේහකං න පත්ත නිල්ලේහකං න ඔට්ඨනිල්ලේහකං සුරු සුරු හඬ ඇතිව වලඳන්නේ නැහැ. අත ලෙව කන්නේ නැහැ. පාත්‍රය ලෙව කන්නේ නැහැ. දිව තොල ලෙව කන්නේ නැහැ. මේ ආදී වශයෙන් සංවරව ආහාර ගන්නවා. මෙම ආහාර ගනු ලබන්නේ න මදායන මණ්ඩනාය න විභූසනාය යනුවෙන් දක්වන පරිදි පැහැය පිණිසවත්, විනෝදය පිණිසවත්, මදය පිණිසවත් නොවේ. ශරීර පැවැත්ම පිණිස බ්‍රහ්මචර්යාව රකිනු පිණිසයි. එලෙස ම අජානීය පුරුෂයෙකු වන්න ඔබත් උත්සුක වන්න. අජානීය අශ්වයා කවදාවත් කුණු ගොඩේ මඩ ගොඩේ ලගින්නේ නැහැ. එලෙසම අජානීය පුරුෂයා පවට ලජ්ජාවෙන් අකුසල් සිදු කරන්නේ නැහැ. එසේ නොකරන්නේ සසර දුකට විපතට පත්වන නිසයි. ඔබත් අජානීය පුරුෂයෙකු වන්න.
අජානීය අශ්වයා අන් අයට කරදර කරන්නේ නැහැ. එලෙසම අජානීය පුරුෂයත් සමගියෙන්, ඉවසීමෙන්, කරුණාවෙන් කටයුතු කරනවා. ඔබත් එලෙස කටයුතු කරන්න. අජානීය අශ්වයා අන් අශ්වයන් වැඩ කලත් නොකළත් වැඩ කරනවා. තම වගකීම නිසි ලෙස ඉටු කරනවා. එමෙන්ම අජානීය පුරුෂයාත් අන් අය කළ නොකළ දේ නොසොයා තම වගකීම, යුතුකම ඉටුකරනවා. ශීල සමාධි ප්‍රඥා දියුණු කරනවා.
අජානීය අශ්වයා ඇදේට යන්නේ නැහැ. එලෙසම අජානීය පුරුෂයා අරි අටඟි මඟට අනුව නිවැරැදිව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරනු ලබනවා. ඒ නිවන් මගයි. ඔබත් එය අනුගමනය කරන්න. අජානීය අශ්වයා යුද්ධයේදී පසු බසින්නේ නැහැ. එලෙසම අජානීය පුරුෂයා චතුරංග සමන්වාගත වීර්යයෙන් ඇට නහර ඉතිරි වී ඇග, මස්, ලේ වියලි ගියත් වීර්යය අත පසු කරන්නේ නැහැ. තම කාර්යය සපල වන තුරු ඔබත් එලෙස කටයුතු කරන්න.
ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධ සාසනෙ අජානීය පුරුෂයා කවදාවත් දස අක්‍රෝස වස්තුන්ගෙන් අපහසයට නින්දාවට ලක්වන්නේ නැහැ.
ජීවිතය හරිම වැදගත්. පවට බිය වී ලජ්ජාවෙන් හොඳ සිරිත් සත් සිරිත් සුරකින්න. උතුම් මිනිසකු වන්නට උත්සුක වන්න. එය ඔබේ මෙලොව පරලොව සැනසීමට හේතු වේ. ඔබ සැමට තෙරුවන් සරණයි.

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති
යක්කලමුල්ල ශාසනාරක්ෂක මණ්ඩලයේ
ලේඛකාධිකාරි
උඩුමලගල ශ්‍රී ආදිච්චවංශ පරිවේනාධිපති
ශාස්ත්‍රපති
පලල්ලේ සරණජෝති හිමි

.......................................................................................................................................................

කුසල් වඩමු



නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
‘සබ්බ පාපස්ස අකරණං -කුසලස්ස උපසම්පදා,
සචිත්ත පරියො දපනං -එතං බුද්ධානසාසනං’


පින්වත්නි,

‘කුසලය’ නම් යහපත්, හොඳ ක්‍රියාවන් සිදුකිරීමේ හැකියාවයි. ‘අකුසලය’ නම් අයහපත්, නරක ක්‍රියාවය. කුසල් වර්ධනය කර ගත යුතු අතර අකුසල් සහමුලින්ම නැති කර ගත යුතු වෙමු. මේ සඳහා ඉවහල් වන්නේ පුද්ගලයාගේ සිත, කය හා වචනයයි.
පළමුව කුසලයෙහි ස්වභාවය හඳුනා ගත යුතු වේ. තමන්ටත්, අනුන්ටත් වැඩදායක වන්නේ, හිත සුව පිණිස පවතින්නේ යමක් ද එය කුසල ක්‍රියාවකි. මෙලෙස ලෝවැඩ පිණිස හේතු වන මෙවන් ක්‍රියා සිදුකිරීම දුෂ්කර, අමාරු දෙයක් බව ද බුදුරජාණන් වහන්සේ වදාළහ. දුෂ්කරතාවය, අපහසුව නොතකා ‘යහපත’ ක්‍රියාවට නැංවීම සත්පුරුෂ ලක්‍ෂණයක් බව කාටත් පැහැදිලි විය යුතු කරුණකි. හිංසාව නුදුන් දෑ ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, ව්‍යාපාදය මිථ්‍යාදෘෂ්ටිය දස අකුසල් වේ. ‘දස කුසල්’ ලෙස පෙන්වා දී ඇත්තේ ඉහත දැක්වෙන එක් එක් අකුසලයෙන් වැළකී සිටීමයි.
දස අකුසලයන්හි කයින් සිදුවන වැරදි තුනක් ද, වචනය තුළින් සිදුවන වැරදි හතරක් ද, සිතින් සිදුවිය හැකි වැරදි තුනක් ද ඇති බව විමසුම් ඇසකින් යුතුව ඒවා කියවීමෙන් දැනගත හැකි වනු ඇත.
අකුසලයෙන් වැළකී සිටීම දියුණුවේ පළමු අදියරයයි. මෙලෙස සංයමය කොට කුසලයට නැඹුරු කරගන්නා සිත පිනට දහමට යෙදවීම දෙවන අදියර වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ‘දස පුණ්‍ය ක්‍රියා’ හෙවත් ‘දස පින් කිරිය වත්’ අපට උගන්වා තිබේ. එනම් දාන, ශීල, භාවනා, පින් දීම, පින් අනුමෝදන් වීම, වත් පිළිවෙත් හි යෙදීම, වැඩිහිටියන්ට ගරු සැලකිළි දැක්වීම, ධර්ම දේශනා හෝ ධර්ම සාකච්ඡා පැවැත්වීම හා දහම් පොත්පත් බෙදා හැරීම, ධර්ම ශ්‍රවණය දෘෂ්ටිය සෘජු කර ගැනීම හෙවත් නිවැරැදි දැකීම දියුණු තියුණු කර ගැනීම යනාදියයි.
‘කුසලය’ පිළිබඳව සැබෑ විශ්වාසයක් ගොඩනඟා ගත් සත්පුරුෂයා අනතුරුව පාරමී ගුණ දහම් පුරන්නේ ය. එදා සිද්ධාර්ථ බෝධි සත්වයාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ ‘දස පාරමිතා’ පිරූ සේක. ඒ ලෝක සත්ත්වයා වෙත පතළ වූ අපරිමිත කරුණාවෙන්ම ය. මේවා නම් වශයෙන් දක්වතොත් දානය, ශීලය, නෛෂ්ක්‍රම්‍යය, ප්‍රඥාව, වීර්යය, ක්‍ෂාන්තිය සත්‍යය, අධිෂ්ඨානය, මෛත්‍රිය සහ උපේක්‍ෂාවය.
ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ ආදර්ශ පාඨය වූයේ ‘කිං කුසල ගවෙසි’ එනම් ‘කුසලය යනු කුමක්දැයි’ ගවේෂණය කිරීම හෙවත් සොයා යෑම යන්නය. කුසලයෙහි අග්‍ර ඵලය වන, දස පාරමිතා යම්තාක් දුරට හෝ පිරීමෙන් ලබන්නා වූ නිර්වාණය හෙවත් දුකෙහි කෙළවර වීම, බෞද්ධයාගේ පරම නිෂ්ටාව වේ.
ගෘහස්ථ බෞද්ධයාගේ නිත්‍ය ශීලය ‘පන්සිල්’ වේ. මේ එක් එක් සිල් පදයෙහි අංශ දෙකක් නිරූපණය වේ. එනම් විරමණය සහ සමාදානයයි. ශිෂ්ට සම්පන්න දිවි පෙවෙතක් සඳහා මනුෂ්‍යයෝ ‘සිරිත් විරිත්’ අනුගමනය කරති. ‘සිරිත්’ යනු පුරුදු පුහුණු කළ යුතු දේය. දෙමව්පියන්ට, වැඩිහිටියන්ට සහ ගුරුවරුන්ට ගරුබුහුමන් දැක්වීම, සැලකීම සහ කීකරු වීම, ආගන්තුක සත්කාරය යනාදිය වේ. ‘විරිත්’ යනු නොකළ යුතු දෑ හෙවත් කිරීමෙන් වැළකී සිටිය යුතු දේ ය.
බුදුරදුන් අප උනන්දු කරවා ඇත්තේ ‘පටිසෝතගාමී’ ප්‍රතිපදාව අනුව දිවි පැවැත්වීමට ය. ජීවත්වන්නන් වාලේ ජීවත්වීම, එනම් ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන පසිඳුරන් පිනවමින්, කම් සුව පසුපස ලුහු බඳිමින් රැල්ලට හසුව සිටීම ‘අනුසොතගාමී’ පිළිවෙතය. ඉන් මිදී විමුක්තිය සලසා ගන්නෝ පෙර කී පරිදි ‘පටිසොතගාමී’ ප්‍රතිපදාව අනුගමනය කරන්නෝ ය.
කුසලයට නැඹුරු වීම සහ අකුසලයෙන් දුරු වීමට අවශ්‍ය වන්නේ උත්සාහයයි. මෙම මාහැඟි ගුණාංගය ඇති කර ගත හැකි ආකාර හතරක් දහමෙහි දක්වා ඇත. නූපන් අකුසල් එලෙසම මතු නූපදවීම, උපන් අකුසල් යළි නූපදවීම, නූපන් කුසල් උපදවා ගැනීම හෙවත් මතු කර ගැනීම සහ උපන් කුසල් වඩා වර්ධනය කර ගැනීම යනාදිය ඒ සතරයි.
තම ජීවිතයේ සිත, කය සහ වචනය මුල් කරගෙන සිදුකොට නොමැති යම් පාපී ක්‍රියාවක් ඇත්නම් එය එපරිද්දෙන්ම අනාගතයේ සිදු නොකර සිටීමටත්, කිසියම් පාපී ක්‍රියාවක් සිදුකොට ඇත්නම් එය නැවත වරක් කිරීමෙන් වැළකී සිටීමටත්, කිසිදා අත්හදා බලා නොමැති යම් පුණ්‍යවන්ත ක්‍රියාවක් කවදා හෝ සැලසුම් සහගතව ක්‍රියාවට නැංවීමටත්, වරක් හෝ ඊට වැඩි වාර ගණනක් ක්‍රියාවට නංවන ලද යහපත් ක්‍රියාවන් නැවත වරක් සිදු කොට ප්‍රගුණ කරගැනීමටත් උත්සාහවන්ත විය යුතු ය.
අකුසලයෙන් මිදීමට ගන්නා පළමු ප්‍රයත්නය හෙවත් වෑයම බොහෝ විට අසීරු වන්නට පුළුවන. ඒ මන්ද, පෘථග්ජන මිනිස් සිත ස්වභාවයෙන් පවට නැඹුරු වන සුළු බැවිනි. එබැවින් මුළාව හෙවත් නොදන්නාකම හේතුවෙන් හෝ දැනුවත්ව දිගු කලක් නැත්නම් කෙටි කලක් සිදු කළා වූ පාපය මකා දැමීම හෙවත් නැති කර ගැනීම, සිතන තරම් හෝ කියන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවනු ඇත. කෙසේ නමුත් එම අකුසලය දුරු කර ගැනීමට වීර්යය දැරීම සත්පුරුෂ ගුණාංගයක් වන බව කිව යුතු ය.
යම් කුසල ක්‍රියාවක් සඳහා සිතෙහි ඇතිවන කැමැත්ත, උනන්දුව නැත්නම් ඕනෑකම හඳුන්වන්නේ ‘කුසලච්ඡන්දය’ ලෙසය. මෙසේ යහපත් ක්‍රියාවක් සිදුකිරීමේ නිපුණත්වයක් අප විසින් ගොඩ නඟා ගත යුතු ය.කරනු ලබන ක්‍රියාවන් සිතට බලපාන අන්දම ධම්මපදයේ එන ගාථා යුගලයක මෙලෙස පිළිබිඹු වේ.
යමක් කොට පසුතැවිලි වීමටත්, එහි විපාකය කඳුළු පිරුණු මුහුණින් යුතුව විඳ දරා ගැනීමටත් සිදුවේ නම් එවැනි දෑ කිරීම යහපත් නොවේ. තවද පසුතැවිලි නොවීමටත්, සතුටින් ඉපිල යෑමටත් තුඩු දෙන යහපත් ක්‍රියාවන් ක්‍රියාවට නැංවීම සාධු චර්යාවකි. තවත් ධම්මපද ගාථාවක අකුසලය දුරලීමේත්, කුසලයෙහි පිහිටීමේත් වගකීම තමන් සතුව පවතින බව පැහැදිලි කර ඇත්තේ මෙසේ ය. ‘පව් සිදුකරනු ලබන්නේ තමන් විසින්ම ය. එමඟින් කිලිටි වන්නේ තමන්මය. ඒ හැරත්, පවින් වැළකී සිටීමෙන් පිරිසුදු වන්නේ තමාමය. පිරිසුදු වීම හෝ අපිරිසුදු වීම පවත්නේ තමා තුළමය. වෙනත් කෙනෙකුට තවත් කෙනෙකු පාරිශුද්ධත්වයට පත් කිරීමට හෝ පිරිසුදු කිරීමට නුපුළුවන’ යනුවෙනි.
අත්තාහි අත්තනො නාථො - කො හි නාථො පරො සියා ?
අත්තනා ව සුදනෙතන – නාථං ලභති දුල්ලභං
මෙය ද ධම්මපදයෙන් උපුටා ගන්නා ලද ගාථාවකි. ‘තමාට පිළිසරණ වීමට සිටින්නේ තමාමය. වෙන කවරෙක් තමාට පිහිට වන්නේ ද? තමා මනාව දමනය කර ගැනීම තුළින් – පුද්ගලයා දුර්ලභ යැයි කියනු ලබන ‘නිවන’ සාක්‍ෂාත් කර ගනියි. මෙහි තේරුමය. අකුසලය හඳුනා ගැනීම, ස්වශක්තිය මත පදනම් වී ඇති බව මින් ගම්‍ය වේ. මේ සඳහා කල්‍යාණ මිත්‍ර සේවනය වැදගත් වන බව බුදුරදුන්ගේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමේ දී දැන ගත හැකි ය. ‘මා නිවත්ථ අභික්කම’ යන බුදු වදනට අනුව මින් නොනැවතී අකුසලයත්, එහි අමිහිරි, වේදනාකර දුර්විපාක පිළිකුලට ලක් කිරීමට ද ලහි ලහියේ කුසලයට යොමු වී සියලු දුකින් නිදහස් වීමේ මාර්ගය එළිපෙහෙළි කර ගැනීමට ද අප යුහුසුළු විය යුතු ය.
කෙසේ නමුදු පාපකාරී මිත්‍රයෙකු පවින් මුදවා සුමඟට ගැනීම සඳහා උපදෙස් දීමත්, ආදර්ශ සම්පන්න වීමත් සැබෑ මනුෂ්‍යත්වය විදහාපාන අවස්ථාවක් බව පැවසිය යුතු ය. මෙහිදී, එම පව් රැස්කරන්නාට පාපයෙහි ආදීනවත්, කුසලයෙහි වටිනාකමත්, කුසල් රැස් කිරීමෙන් මෙලොවම එහි සැප විපාක භුක්ති විඳිය හැකි ආකාරයත් පෙන්වා දීමට තරම් හැකියාවකුත්, මානසික පසුබිමකුත් ඔහු හෝ ඇය සතුව තිබිය යුතු ය. එනමුත් ලබා දුන් උපදෙස් වටහා ගැනීමට හෝ පිළිගැනීමට හෝ පිළිපැදීමට ඇවැසි නුවණ විටෙක පව්කරන්නා තුළ නොතිබෙනු දැකිය හැක. මෙවැනි මොහොතක දී නොසැලී සිටීමටත්, අවවාද කිරීමෙන් තම යුතුකම නොපිරිහෙළා ඉටු කළ බව සිතා සතුටු වීමටත් ‘සත්පුරුෂයා’ වගබලා ගත යුතු වීම වැදගත් කරුණකි.
‘සියලු පවින් දුරුවන්න - සියලු කුසල් දහම් රැස් කරන්න
තම සිත පිරිසුදු කරන්න - මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

.....................................................................................................................................................


මම මගෙන් නිදහස් ද ?

මහනුවර කොටුගොඩැල්ල පුරාණ විහාරවාසී,
මාතලේ ශ්‍රී ගුණරතන මූලික පිරිවෙනේ
නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත
කෝන්වැවේ සුනන්ද හිමි



‘මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා පංච උපාදානස්ඛන්ධයේ හට ගැනීමත්, නැති වීමත්, ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරනවා නම්, පින්වත් මහණෙනි, එම ආර්ය ශ්‍රාවකයාට තමයි සෝවාන් කියලා කියන්නේ. සතර අපායේ නොවැටෙන ස්වරූපයෙන් යුතු කෙනා නියත වශයෙන්ම නිවන් අවබෝධය පිහිට කර ගෙන ඉන්න කෙනෙකු බවයි’ යනුවෙනි. මෙය තමා විසින්ම නුවණින් විමසා බැලිය යුත්තකි.
 


නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
යතෝ ඛෝ භික්ඛවේ අරිය සාවකෝ ඉමේසං
පඤ්චනං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච
අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච
නිස්සරණඤ්ච යථාභූතං පජනාති.
අයං වුච්චති
භික්ඛවේ අරියසාවකෝ සෝතාපන්නෝ
අචිනිපාතධම්මෝ නියතෝ
සම්බෝධිපරායනෝති

(සංයුත්ත නිකායේ ඛන්ධ සංයුක්තයේ සෝතාපන්න සූත්‍රය)

පින්වත් අරිය ශ්‍රාවකයිනි,

මම කියන්නේ රූප වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්ඛන්ධ පහටයි. පළමුව බලමු මොකක්ද මේ පංච උපාදානස්ඛන්ධය කියන්නේ කියලා රූපය කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූ®තවලින් හට ගත් දෙයයි, වේදනාව කියන්නේ ස්පර්ශය නිසා හටගත් විදීමයි.
සංඥාව යනු ස්පර්ශය නිසා හටගත් හදුනා ගැනීමයි. සංඛාර යනු ස්පර්ශය නිසා හටගත් චේතනා පහළ වීමයි. විඤ්ඤාණය යනු නාමරූප නිසා හටගත් සිතයි. මෙය හේතුඵල දහම අනුව හටගත්තක් නිසා පංච උපාදානස්ඛන්ධය දුකක් යැයි පුහුදුන් ඇතැම් කෙනෙකුට හිතුනත් යථාර්ථයෙන්ම තේරුම් ගන්න බැරිවෙලා. ඊට හේතුව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්වයා තුළ සඤ්ඤා විපල්ලාසය යනු සත්‍ය වශයෙන් තියන දෙය හඳුනාගන්නේ නැතිව වෙනත් දෙයක් හඳුනා ගැනීමටයි. පින්වතුනි,, බුදුරජාණන් වහන්සේ විසින් සඤ්ඤා විපල්ලාස හතරක් දේශනා කරනවා. එනම් 1. අසුභෙ සුභ සඤ්ඤා (අසුභ දේ සුභ ලෙස හඳුනා ගැනීම. ) 2. දුක්ඛෙ සුඛ සඤ්ඤා (දුක් වූ දේ සැප ලෙස හඳුනා ගැනීම. ) 3. අනිච්චේ නිච්ච සඤ්ඤා (අනිත්‍ය වූ දේ නිත්‍ය ලෙස හඳුනා ගැනීම. ) 4. අනත්තේ අත්ත සඤ්ඤා (අන්තාම දේ ආත්ම වශයෙන් හඳුනා ගැනීම.) ඒ කියන්නේ සත්‍ය වූ දේ තමයි අසුභ, දුක්ඛ, අනිත්‍ය, අනාත්ම හතර. නමුත් ඒවා අන්ධ වූ පෘථග්ජනයා සුබ, සැප, නිත්‍ය, ආත්ම වශයෙන් පටලවාගෙන අවිද්‍යාව නමැති දැලකින් සිත වෙළාගෙන දුක් විඳින්නේ නැද්ද ? දුක් විඳිනවා. ඒ නිසාම පුහුදුන් කෙනා පංච උපාදානස්ඛන්ධයට දැඩි ලෙස බැදී යනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨියටයි.
ඒ හොඳට මතකයට ගන්න. විශාකා උපාසිකාව අසන ප්‍රශ්නයට ධම්මදින්නා තෙරණිය පිළිතුරු දෙන්නේ, සද්ධර්මය අසන්න ලැබෙන්නේ නැති එහි හැසිරෙන්නේ නැති අශ්‍රැතවත් පුහුදුන් කෙනා රූපය ආත්මයක් (තමාගේ වසගයේ පැවැත්විය හැකි දෙයක් ) ලෙස ගෙන මුළාවෙන් දකිනවා. නැති නම් ආත්මය රූපයෙන් හැදුනු එකක් ලෙසද දකිනවා.
ආත්මය තුළ තමයි රූපය තියෙන්නේ කියලත් දකිනවා. එසේත් නැතිනම් ආත්මය තියෙන්නේ රූපය තුළමයි කියලත් දකිනවා. මෙලෙස අවස්ථා හතරක් ලෙස රූපය දෙස බලනවා. වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ හතරත් එලෙසින්ම හතර ආකාරයෙන් බලමින් ආත්ම ලෙස ගන්නවා. එවිට තමාට තියෙන්නේ මම යන හැගීමයි.
නමුත් මම කියන කෙනා උපතේ සිට මරණය දක්වා හෝ සසරේ දිගටම පවතින දෙයක් වෙන්න ඕනේ. නමුත් මම කියන කෙනා වරින් වර වෙනස් වෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, නිදාගන්නවා, දහඩිය දානවා, අඬනවා, මැරෙනවා. මෙලෙස වෙනස් වන්නේ නැද්ද ? වෙනස් වෙනවා. වරින් වර වෙනස් වන දෙයට තමයි ‘ මම ‘ කියන්නේ. පින්වතුනි, මේ රූපකය තමාම ක්‍රියාවේ යොදවන අයුරු බලන්න. මම කමි, මම යමි, මම දනිමි, ආදී වශයෙන් කථා කරන මම විටක මගේ ඇඟ, මගේ කණ, මගේ ඇඟ පණ නැත මගේ ඇඟ කෙට්ටුය. යනුවෙන් පවසන්නේ නැද්ද ? පවසනවා. කලින් මම කියලා ගත් ශරීරය තව විටකදී මගේ වෙලා. ඒ තුළින් පෙනී යන්නේ මම මගේ වීමෙන්ම ‘මම’ නොවන බවයි.
මේ අනුව බලන විට ආත්මීය වශයෙන් ගත යුතු දෙයක් නැත. ඒ අනුව පෘථග්ජනයාට හිතෙන්න පුලුවන් ජීවත් වෙන නිසා මේ දුක තියෙන්නේ කියලා. ඒ නිසාම ජීවිතය නැති කර ගන්න බලනවා. එය නොව සත්‍ය. තමා තුළ ඇති අවිද්‍යාව ( නොදැනීම ) හා තණ්හාවයි. මේ ප්‍රශ්නේ තේරුම් ගන්න මාර්ගයක් තියනවා. ඒ තමා සම්මා දිට්ඨි ආදි කොට ඇති මධ්‍යම ප්‍රතිපදාවයි. එමගින් ‘මම’ කියන කෙනා සසරින් නිදහස් වෙනවා. මෙය ආරිය ශ්‍රාවකයා හොඳින් දන්නා කරුණකි.
පංච උපාදානස්ඛන්දය ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් වෙන් වෙන්ව නුවණින් බලන්න පුරුදු වෙන්න ඕනේ. එලෙස බලන කෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න පටන් ගන්නවා.
බලන්න මේ කථාව, බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ හිටියා දාරුචීරිය කියලා කෙනෙක්. මොහු දර පතුරු ඇඳ ගෙන බුදුරජාණන් වහන්සේ දැකීමට මහ පාරේ යන කොට බුදුරජාණන් වහන්සේ මහ පාරේ පිණ්ඩපාතේ වඩිනවා.
දාරුවිරිය බුදුරජාණන් වහන්සේ දැක හඳුනා ගෙන මහ පාරේ ඇද වැටී වැඳ ධර්මය දේශනා කරන ලෙස ඉල්ලනවා. පිණ්ඩපාතේ වඩින වේලාව නිසා බුදුරජාණන් වහන්සේ එය නොපිළිගනී. නමුත් තුන් වතාවක්ම ආරාධනා කර සිටින්නේ සුදුසු ධර්මයක් දේශනා කරන ලෙසටයි. බලන්න ඔහුට ධර්මය අහන්න තිබෙන කැමැත්ත. අන්තිමේදි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා. එනම් බාහිය, දැක්කොත් දැක්කා විතරයි.
ඇහුණොත් ඇහුණා විතරයි. ගඳ, සුවඳ ගත්තොත් ගත්තා විතරයි. රස වින්දොත් වින්දා විතරයි. කයට පහස ලැබුණොත් ලැබුණා විතරයි. සිතින් සිතුවොත් හිතුවා විතරයි. ඔබ යමක් හිතුවොත්, විමසුවොත් ඒ සියල්ල එතනින් ඉවරයි. එතැන යමක් හැදෙන්නේ නැතිනම් ඔබ ඒ තැන නෑ.
යම් තැනක ඔබ නැති නම් ඔබ වෙන තැනකත් නැත්නම් ඒ අතරත් ඔබ නෑ. එවිට බාහිය, ඔබ දුකින් නිදහස් කියලා. මෙය පුළුල් අර්ථයක් තියන දෙයක්. බාහිය මහපාරෙම හිටගෙන නුවණින් කල්පනා කරලා බලා මහපාරෙම රහත් වුණා. ප්‍රඥාව තියනවා නම් සසරින් නිදහස් වෙන්න පුළුවන් සුප්පාවාසා දේවියට ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ

’අසාතං සාත රූපේන
පිය රූපේන අප්පියං
දුක්ඛං සුබස්ස රූපේන
පමත්ත මතිවත්ති


‘අමිහිරි දේවල් මිහිරි ස්වරූපයෙන්, අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපයෙන්, දුක් දේවල් සැප ස්වරූපයෙන් ප්‍රමාදී පුද්ගලයාව යටකර ගෙන යන්නේය’ යනු මෙහි අදහසයි. මේ ඇසූ සුප්පාවාසා ජීවිතයේ තිබෙන යථා ස්වරූපය තේරුම් ගත්තා. කිසිම දේකට ඇලෙන්නේ නෑ කියලා සිතා ගත්තා.
ඉහතින් මාතෘකා කරගත් බුද්ධ දේශනාවෙන් ධර්ම දේශනය අවසන් කරනවා. එම ගද්‍ය පාඨයෙන් අදහස් වන්නේ මෙයයි. ‘මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා පංච උපාදානස්ඛන්ධයේ හට ගැනීමත්, නැති වීමත්, ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරනවා නම්, පින්වත් මහණෙනි, එම ආර්ය ශ්‍රාවකයාට තමයි සෝවාන් කියලා කියන්නේ.
සතර අපායේ නොවැටෙන ස්වරූපයෙන් යුතු කෙනා නියත වශයෙන්ම නිවන් අවබෝධය පිහිට කර ගෙන ඉන්න කෙනෙකු බවයි’ යනුවෙනි. මෙය තමා විසින්ම නුවණින් විමසා බැලිය යුත්තකි. එවිට මම මගෙන් නිදහස් වෙනවා.
තෙරුවන් සරණයි !

.............................................................................

සංසාර ගමන සහ ශ්‍රද්ධාව


නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මාසම්බුද්ධස්ස
“සද්ධේසිකෝ භික්ඛවේ
අරියසාවකො අකුසලං
පජහති කුසලං භාවේති
සාවජ්ජං පජහති අනවජ්ජං
භාවේති සුද්ධං අත්තානං පරිහරති”


ශ්‍රද්ධාවත් ආර්ය ශ්‍රාවක තෙම අකුසල් දුරුකරයි. කුසල් වඩ යි. වැරැද්ද දුරුකරයි. නිවැරැද්ද වඩයි.
මෙම අදහස බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක් නගරූපම සූත්‍රයෙහි ය. නගරයක් උපමා කොට තම ජීවිත පැවැත්ම සකසාගත යුතු ආකාරය මෙම නගරූපම සූත්‍රයෙන් පැහැදිලි කොට ඇත. අංගුත්තර නිකායේ මහා වග්ගයේ එන නගරූපම සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් ජේතවනාරාමයෙහි වැඩවෙසෙන විට දේශනා කරන ලද්දකි. පෙර රජවරු තම නගරය ආරක්‍ෂා කරගැනීමට නොයෙක් උපක්‍රම යෙදූහ. එම රට රැකීමේ ක්‍රියාදාමය පවතින්නේ රටෙහි අවසානයෙහි පිහිටි නගරයෙහි ය. ඒසිකාස්ථම්භය යනු සවිමත් ව තනනු ලබන කුළුණකි. එයට නැග ඈතින් පැමිණෙන සතුරන් බැලිය හැකි ය. ඊළඟට සාදා ඇත්තේ දිය අගල යි. එම දිය අගලෙහි කිඹුලන් වැනි මිනි කන සතුන් ඇතිකරන නිසා සතුරන්ට ලෙහෙසියෙන් එන්නට නොහැක. තුන් වෙනුව අනුපරියා පථය එනම් පවුරට ඇතුළතින් පවුර වටේ සාදා ඇති මාර්ගය යි. එහි බොහෝ ආයුධ රැස්කර තබා ඇත. ඊළඟට විශාල බලකායකි. එම බලකාය ඇත්, අස්,රිය, පාබල යන සිව්රඟ සේනාවෙන්ම යුක්තය. දොරටුවෙහි දොරටුපාලකයෝ වෙති. ඒ දොරටු පාලකයෝ නැණවත් හුය. ඇතුළු වන්නන් පිටවන්නන් පිළිබඳ ඔවුන්ට හොඳ අවබෝධයක් තිබිය යුතු ය. නො හඳුනන අය වළකන, හඳුනන අයට ඇතුළු වීමට ඉඩදෙන දක්ෂයන් විය යුතු ය. ඉක්ම විය නොහැකි සිදුරු නැති උස ප්‍රාකාරයක් ද නගරාරක්ෂාවට පැවතිය යුතු ය. මේ කරුණු වලින් සමන්විත නගරය ආරක්ෂා වේ.
මෙසේ ආරක්ෂා සංවිධාන ඇති කොට මනුෂ්‍යයන්ට අත්‍යවශ්‍ය දේ ද සම්පාදනය කළ යුතු ය.ආහාර පාන, ඇඳුම් පැළඳුම් , බේත් හේත් හා නිවාස යන මේ සියල්ලෙන් සම්පූර්ණ විය යුතු ය. එවිට නගරවාසින්ට එම අවශ්‍ය කරන ද්‍රව්‍යයන් පිළිබඳව බියක් ඇති නොවේ. මෙසේ නගරයේ ආරක්ෂා සංවිධානය ගැන දේශනා කළ බුදුරජාණන් වහන්සේ කරුණු හතකින් සම්පූර්ණ වන ආර්ය ශ්‍රාවකයා මාර බන්ධනයට හසු නො වන බව දේශනා කළහ.
නගර ආරක්ෂාවට සොර සතුරන් ඒ දැයි බැලීමට තනන ඒසිකාස්ථම්භය මෙන් ශ්‍රාවකයනට ශ්‍රද්ධාව තිබිය යුතු ය. ශ්‍රද්ධාව නම් තුනුරුවන් කෙරෙහි පවත්නා පැහැදීමයි. ශ්‍රද්ධාව ප්‍රධාන වශයෙන්.
i අමූලිකා සද්ධා ii ආකාරවතී සද්ධා නමින් දෙ පරිදි වේ. අමුලිකා ශ්‍රද්ධාව දුටු පමණින් ඇතිවන පැහැදීම යි. එය නිතර වෙනස් වෙයි. ආකාරවතී සද්ධා යනු ගුණ දැන පැහැදීමයි. මෙම ශ්‍රද්ධාවන්තයන්ගේ පොදු ලක්ෂණය නම් සිල්වතුන් දැකීමට කැමති වීම, බණ දහම් ඇසීමට කැමති වීම, මසුරු මළ නැති කොට දන්දීම ආදියයි. තව ද ශ්‍රද්ධාව සම්පසාදන ලක්ඛණ සද්ධා - සම්පක්ඛන්දන ලක්ඛණ සද්ධා, ඕකප්පන සද්ධා –ආගම සද්ධා අධිගම සද්ධා යයි පස්වැදෑරුම් කොට දක්වා තිබේ. සිතෙහි පැහැදීමෙන් පින් දහම් කිරීම සම්පසාදන ලක්ඛණ ශ්‍රද්ධාවේ ලක්‍ෂණය යි. චක්‍රවර්ති රජුගේ උදකප්පසාද මාණික්‍ය බොර දියකට දැමූ විට පෑදෙන්නාක් මෙන් මෙම ශ්‍රද්ධාව නිසා සිත ප්‍රසන්නභාවයට පත්වෙයි. සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාව නම් පැකිලීමක් නැතිව ඉදිරිපත් වී පින් දහම් කිරීම යි. දාන සීලාදින්ගේ ප්‍රතිඵල අද හා එම පුණ්‍ය ක්‍රියා කිරීම ඕකප්පන සද්ධා නම් වේ.අනෙක් ශ්‍රද්ධා ඇති වනුයේ ආර්ය මාර්ගයට පත්වූවන්ට ය. “ සද්ධ බන්ධති පාත්‍යෙං” ශ්‍රද්ධාව සංසාර ගමනේ දී මගවියදම් සපයයි. “සද්ධාය භරතී ඔඝං” භව ඕගය ශ්‍රද්ධාවෙන් තරණය කරයි. “සද්ධා බීජං “ ශ්‍රද්ධාව බීජය යි. ‘සද්ධා හෙත්‍ථා මහානාගො” මහා හස්තියාට හොඩවැල ශ්‍රද්ධාව වැනිය . ආදි වශයෙන් විවිධ සූත්‍රයන්හි සද්ධා යන වචනය විග්‍රහ කොට ඇත.
“ සද්ධේසිකො භික්ඛවේ අරියසාවකො අකුසලං පජහති කුසලං භාවේති. සාවජ්ජං පජහති අනවජ්ජං භාවෙති” යනුවෙන් ශ්‍රද්ධාව නමැති ඒසිකාස්ථම්භයට නැගගත් ආර්ය ශ්‍රාවකයා කෙලෙස් නමැති සතුරන් බලා ඔවුන් දුරු කරයි. ඒ සඳහා අකුසල් දුරු කරයි. කුසල් වඩ යි. වැරැදි දේ දුරු කරයි. නිවැරැදි දේ වඩ යි. තමා පිරිසිදුව වෙසෙයි. මෙහි කුසල හා අකුසල යන වචන දෙක විවාදයට භාජනයවී ඇති බැවින් එහි විස්තරය දත යුතු ය. පින් පවු, කුසල්, අකුසල් යන වචන වලින් එකම අර්ථයක් ලැබේයයි සිතීම වැරැදි සහගත ය. පාලි පුඤ්ඤ යන වචනය සිංහලයෙන් පින් නමින් ගැනේ. “ පුඤ්ඤාති පරලෝකස්මිං පතිට්ඨා හොත්ති පාණිනං” “ සුඛො පුඤ්ඤස්ස උච්ඡයෝ, යනුවෙන් පින පිළිබඳ හැඳින්වීම්වලින් පැහැදිලි වන්නේ පින යනු සාංසාරික සැප සම්පත් ලබාදෙන යහපත් කර්මයන් බව යි. “පුඤ්ඤන්ති සුඛස්ස ඒතං අධිවචනං” යන්නෙන් පින යනු සැපයට ම භාවිත වන වෙනත් වචනයක් බව කියැවේ. මෙහි සැපය යනුවෙන් අදහස් කොට ඇත්තේ සාංසාරික දිව්‍ය මනුෂ්‍යාදි සැපය යි. ‘ඉධ නන්දති පෙච්ච නන්දති’ යන ධම්මපද ගාථාවන්ගෙන් ද පැහැදිලි වනුයේ පුඤ්ඤ යනු සාංසාරික සැපය ම අවධාරණය කළ බවයි. පුඤ්ඤ පාප පින් පව තම තමන් ම රැස් කරගන්නා ශක්තියකි.” නිරයං පාපකම්මන්තා පුඤ්ඤකම්මා ච සුග්ගතිං” පව් රැස් කරගත් අය නිරයට වැටෙති. පින් රැස් කරගත් අය සුගතියෙහි උපදිති. මේ පින් පව් විපාක විඳීමෙන් ගෙවී යයි. පින් කිරීමෙන් දිව්‍යලෝකයෙහි උපත ලබයි. එයින් සිදුවන්නේ සංසාරය තව තවත් දීර්ඝ වීම ය.
මෙහි දී විශේෂයෙන් සැලකිය යුත්තක් ඇත. දන් දීම පිනකි. එසේ දන් දෙන්නේ සාංසාරික සැප සම්පත් පතා නම් එයින් වන්නේ සසර දිග්ගැසීම යි. ජෝතිය සිටාණන්ට සසර දිග්ගැසුනේ සාංසාරික සම්පත් පැතූ නිසා ය. එහෙත් ලෝභ, ද්වේෂ, මෝහ දුරුකර ගැනීම සඳහා දානාදි පින්කම කෙරෙයි නම් එයින් සසර කෙටිවෙයි. මේ අනුව පුඤ්ඤ පින් යනු සසර දිග්ගැසෙන සදාචාරාත්මක ක්‍රියාදාමයන් ය.
පින් පව් දුරලීමෙන් පරම නිෂ්ඨාවට හෙවත් නිවනට පත්විය හැකි බව “ පුඤ්ඤ පාප පහීනස්ස -නත්ථි ජාගරතෝ භයං ” යන ධම්මපද ගාථාවෙන් පැහැදිලි වේ. නිර්වාණවබෝධය සඳහා අනුගමනය කළ යුතු ආචාර පද්ධතිය හඳුන්වා ඇත්තේ ‘කුශල’ නාමයෙනි. පින් පව් දුරලූ රහතන් වහන්සේ වන්දන මානාදිය කරති. දානාදිය දෙති. එයින් උන්වහන්සේලාට ඇතිවනුයේ ක්‍රියා මාත්‍රයකි. එයින් පැහැදිලි වන්නේ පින් ඇතිවන්නේ පෘථග්ජන පුද්ගලයන්ට පමණි. රහත්වීමට පින් අවශ්‍ය නැත. පින් අවශ්‍ය වන්නේ සසර ගතකරන විට සැප සම්පත් ලබා ගැනීමටය .
ලෝසක මහරහතන් වහන්සේ බොහෝ වශයෙන් ජීවිත කාලය ගත කළේ නිරාහාරව ය. උන්වහන්සේ පිරිනිවන් පාන දිනයේ දී වත් කුස පිරෙන්න අහරක් දෙන්න කල්පනා කළ සැරියුත් තෙරණුවෝ පිණ්ඩපාතය ගෙනවුත් තමාගේ අතේ පාත්‍රය තබාගෙන ලෝසක හිමියන්ට දානය වළදන්නට සැලැස්වීය. හේතුව? ලෝසක හිමියන්ගේ අතට පාත්‍රය දුන්නා නම් දානය වැළඳීමට නො ලැබෙන බැවිනි. එහෙත් ලෝසක හිමියෝ මහරහත් භාවයට පත්ව සිටියහ. උන්වහන්සේට පින නොතිබුණත් කුසලය පැවතුණි. එහෙයින් රහත් වූහ. එහෙයින් ආර්යභාවය ලබාගන්නට නම් ශ්‍රද්ධාවෙන් අකුසලය දුරු කොට කුසලය වැඩිය යුතු ය. වැරැදි දුරුකොට නිවැරැදි මාර්ගයෙහි ගමන් කළ යුතු ය. පිරිසුදු ආත්මභාවය පරිහරණය කළ යුතු ය.
නුවර ඇතුළට සතුරන්ට පැමිණිය නොහැක්කේ ගැඹුරු පළල් මිනි කන ජලජ සතුන් ඇති දිය අගල නිසා ය. එමෙන් ආර්ය ශ්‍රාවකයන්ට ලජ්ජා භය දිය අගල මෙනි. ලජ්ජා භය ලෝකපාලක ධර්ම වශයෙනුත් හඳුන්වා ඇත. හිරි ඔතප් යනු ද ලජ්ජා භය දෙකය. අත්තාධිපතෙය්‍යා හිරි තමා නිසා, තමාගේ ආත්ම ගරුත්වය ආදි කරුණු නිසා ලජ්ජාව ඇතිවේ. “ ලොකාධිපතෙය්‍යං ඔත්තප්පං” ලෝකයා නිසා රාජ භය දණ්ඩ භය දුග්ගති භය ආදිය නිසා ඔත්තප්පය ඇතිවේ.මෙම ලජ්ජා භය නිසා ආර්ය ශ්‍රාවකයන් වහන්සේ කාය දුශ්චරිත , වචී, දුශ්චරිත, මනෝ දුශ්චරිතයන්ගෙන් වැළකී සිටිති. නගරයේ ප්‍රාකාරයෙන් ඇතුළු පැත්තේ ඇති මාර්ගයෙහි ආරක්‍ෂක භටයන් ගැවසෙන නිසා සතුරන්ට ඇතුළුවීමට නො හැකිය. එමෙන් ආර්ය ශ්‍රාවක තෙමේ පවට භය ඇති නිසා කෙලෙස් සතුරන්ට ඇතුළු විය නො හැකිය. ප්‍රාකාරය නිසා සතුරන්ට නුවරට පිවිසිය නො හැක්කාක් මෙන් ආර්ය ශ්‍රාවකයන් ගේ ප්‍රඥාව නිසා කෙලෙස් සතුරන් මැඩපවත්වයි. නගරයේ ඇති ආයුධ ගබඩාව මෙන් ආර්ය ශ්‍රාවකයාට ශ්‍රැතිය ඇත. බල සේනාව වීර්යයයි. නැණ නුවණ ඇති දොරටු පාලකයා සතිය යි.
මෙසේ නගරූපම සූත්‍රයෙන් නගරයක් ආරක්ෂා කරන්නාක්මෙන් ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධා හිරි ඔත්තප්ප, ප්‍රඥා, ශ්‍රැති, වීර්ය, සතිය යන ගුණධර්ම වඩා කෙලෙස් ප්‍රහාණය කොට නිවන් අවබෝධ කරගන්නා ආකාරය පැහැදිලි කොට වදාරා ඇත.
..................................................................................................................................................

නොසැලෙන මනස









ඔබ අප සැමගේ ජීවිත වලට වැඩ කළත් නොකළත් කථා කළත් නොකළත් නින්දා ප්‍රශංසා ලැබෙන බව තේරුම් ගෙන නොසැලී කටයුතු කරන්නට කුඩා කල සිටම හුරුපුරුදු විය යුතුය.
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සෙලො යථා එකඝනො
වාතෙ න න සමීරතී
එවං නින්දා පසංසාසු
න සමිඤජන්ති පණ්ඩිතා
කාරුණික සුපින්වතුනි,

බුදු බණ පද කියවීම ඇසීම සාකච්ඡා කිරීම මහා ආනිසංස දායක පින්කම් ලෙස භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. ධර්මයට කන් යොමා ධර්මය මැනවින් සිත්හි ධාරණය කරගෙන ඒ අනුව ක්‍රියාකිරීම තුළින් ඔබට සුවිශේෂ ආනිසංසයන් සසර දුක් නිම කරන මොහොතේ ලබන්න හැකි වන්නේය. එනම් සිව්පිළිසිඹියාපත් මහරහත් භාවයට පත්වන්නට එය විශේෂ පින්කමක් බවට පත් වන්නේය. එම නිසා දහමට ඔබේ ගත සිත මැනවින් යොදවන්නට අදිටන් කර ගන්න. එය මෙලොව සැප පිණිස පරලොව සැප පිණිස නිවන් සැප පිණිස ම පවතින්නේ ය.

වාසනාවන්ත බුදුසරණ පාඨක භවතුනි ,

ඔබ හරි වාසනාවන්තයි. ලොව දුර්ලභ මනුෂ්‍ය ආත්මය ලබා ඔබේ ජීවිතය ගුණ යහපත්කම් ඇතිව බුදුසරණ පුවත්පත වැනි මහා ධර්ම භාණ්ඩාගාරයක් සමග කටයුතු කරන්නට ඔබට අපට අවස්ථාව ලැබීම.
බුදුරජාණන්වහන්සේ දවස අකුල නම් තැනැත්තා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කර සිටියා ස්වාමීනි අපි රේවත හිමියන්ගේ බණ අසන්නට ගියද එකම වචනයක්වත් කථා නොකර බවත් සැරියුත් මහ රහතන් වහන්සේ ළගට ගොස් බණ ඇසීමට කී විට දිග බණක් දෙසූ බවත් ආනන්ද හිමියන් ළඟට ගිය විට ඉතාම කෙටි බණක් දෙසූ බව ප්‍රකාශ කළේය. බුදුරජාණන් වන්සේ එවිට දේශනා කරනු ලැබුවේ කථා නොකරන කෙනාටත් වැඩියෙන් කථා කරන කෙනාටත් අඩුවෙන් කථා කරන කෙනාටත් දොස් පරොස් තබන බවයි. වැඩ කළත්, නොකළත් , ටිකක් වැඩ කළත්, ලෝ වැසියෝ දොස් පරොස් තබනවා. එය පුරාණයේ සිටම පැවත එන ක්‍රමයක් බවත් වැඩිදුරටත් බුදුරජාණන් වහන්සේ දෙසූ සේක.
එම නිසා ඔබ අප සැමගේ ජීවිත වලට වැඩ කළත් නොකළත් කථා කළත් නොකළත් නින්දා ප්‍රශංසා ලැබෙන බව තේරුම් ගෙන නොසැලී කටයුතු කරන්නට කුඩා කල සිටම හුරුපුරුදු විය යුතුය.
අද ධර්ම දේශනයේ මාතෘකාව වශයෙන් මා තබා ගනු ලැබුවේ ධම්මපද පාලියේ පණ්ඩිත වර්ගයේ හය වන ගාථා රත්නයයි. මෙම දේශනය බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි ලකුණ්ටක භද්දිය තෙරුන්වහන්සේ මුල් කරගෙනය.
මෙම මහා රහතන් වහන්සේ ලද දෙයින් සතුටුවන මහා ගුණවත් තෙරුන් වහන්සේ නමක් ලෙස කා අතරත් ප්‍රකටය. පෙර පින්කම් කරන ලද උන්වහන්සේ වෙනත් කෙනෙකුගේ වියදමින් මහා ඉහළින් කරන්නට ගිය පින්කම වියදම් අඩුකොට කුඩා කොට කිරීමේ ප්‍රතිඵල වශයෙන් ඉතා කුඩා මිටි ශරීරයක් ඇතිව උපන්නේය.
එනමුදු මහා ගුණවත් තෙර නමක් වන ලකුණ්ටක භද්දිය හිමියන්ට පන්සලේ සෙසු අය කන්පෙත්ත පවා අල්ලා කෙළි කවටකම් කරති. කුඩා කෙනෙකු වුවත් විසුලු කළත් ඉවසා දරා සිටීමේ මහා ගුණයක් ලකුණ්ටක භද්දිය තෙරුන් තුළින් දැකිය හැකි විය. මේ කාරණාව ධර්ම සභාවේදී සාකච්ඡා කරන ලදී. එහිදී බුදුරජාණන් වහන්සේ මේ මහා රහත් උතුමන් වහන්සේ හාත්පස ගණ වූ ගල්පවුවක් යම් සේ සතර දිසාවෙන් එන සුළඟින් නොසෙලේවේද එසේම නුවණැත්තෝ නින්දා පැසසුම් දෙකේ දීම උරණ නොවී උද්දාමයට පත්නොවී මැදහත්ව නොසැලී වාසය කරන්නේ යැයි දෙසූ සේක.
ලෝකයේ ජීවත් වන විට විවිධ ප්‍රශ්න ගැටළු ඇති වන අතර ඒ සියල්ලටම කිසියම් හේතුවක් කාරණාවක් තිබෙන බැවින් ඒවාට බුදු දහමේ කර්ම යනුවෙන් හදුන්වනු ලබයි. එය පින්කම් වශයෙන් වර්ග කර ඇත. ඔබ ඔබේ ජීවිතයේ වාසනාව අවාසනාව ළගා වන්නේ පෙර කර්ම ශක්තීන්ට අනුවත් අද ඔබේ උත්සාහයේ වීර්යයෙන් අදිෂ්ඨානයේ තරමට බවත් මැනවින් කල්පනා කළ යුතුය. එම නිසා ගැටළු ප්‍රශ්න වලදී බොහෝම කල්පනාකාරීව ඉවසීමෙන් සන්සුන්ව ක්‍රියා කරන්නට අදිටන් කරගන්න. ඔබ සැමට මේ උතුම් පින් බලයෙන් නිවන් සැප ලැබේවා.....!

..............................................................................................................................................

ලොව ශ්‍රේෂ්ඨ වන්නෝ කවරහුද...?

 

ශාස්ත්‍රපති සූරියගොඩ සිරිධම්ම නා හිමි




මම ගෞතම ගෝත්‍රයෙහි උපන්නෙක් වෙමි.  අෂ්ට විද්‍යාවන්ගෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුත්  තථාගතයන් වහන්සේම දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙති.

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ඛන්තියෝ සෙට්ඨෝ ජනේතස්මිං
යේ ගොත්ත පටිසාරිනෝ
විජ්ජාචරණ සම්පන්නෝ
සෝ සෙට්ඨෝ දේවමානුසේ

මම ගෞතම ගෝත්‍රයෙහි උපන්නෙක් වෙමි. මම කාශ්‍යප ගෝත්‍රයෙහි වෙමියි කීවත් එම ජනයා අතරෙහි ක්ෂත්‍රියතෙම ශ්‍රේෂ්ඨ වෙයි. අෂ්ට විද්‍යාවන්ගෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුත් තථාගතයන් වහන්සේම දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙති. අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් වන මෙම ගාථාවෙන් බුදුවරයෝ ම ලෝකයෙහි ශ්‍රේෂ්ඨයෝ යයි ප්‍රකාශ කර ඇත.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ විශාඛා මහා උපාසිකාව විසින් කරවන ලද පූර්වාරාම විහාරයෙහි වැඩ වසන විට මෙම අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කළ සේක. විශාඛා මහා උපාසිකාව පදුමුත්තර බුදුන් දවස බුදුරජාණන් වහන්සේ නමකට අග්‍ර උපස්ථායිකාව වීමට පතාගෙන ආ තැනැත්තියකි. අප බුදුරදුන් දවස අඟුරට භද්දිය නුවර උපන්නීය. පියා ධනඤ්ජය සිටුවරයාය. මව සුමනා නම් සිටු දේවිය වූවාය. විශාඛාව සත් හැවිරිදිව භද්දිය නගරයේ දී බුදුරදුන් දැක බණ අසා සෝවාන් වූවා ය.
වාසෙට්ඨ, භාරද්වාජ යන දෙදෙනා බ්‍රාහ්මණ මහාසාල වංශිකයෝය. මැදුම් සඟියට අයත් වාසෙට්ඨ සූත්‍රය අසා උපාසක භාවයෙහි පිහිටියාහුය. පසුව තේවිජ්ජ සූත්‍රය අසා පැවිදි වූහ. විසිවයස් සම්පූර්ණ නොවූ හෙයින් උපසම්පදාව ලැබීමට භික්‍ෂූන් ඇසුරෙහි වෙසෙති.
බුදුරජාණන් වහන්සේ සන්ධ්‍යා භාගයෙහි පල සමවතින් නැගී පූර්වාරාම ප්‍රාසාදයෙන් බැස පහයෙහි සෙවනැල්ල වැටෙන ප්‍රදේශයෙහි සක්මන් කරන සේක. වාසෙට්ඨ සාමණේරයෝ සක්මන් කරන බුදුරදුන් දැක භාරද්වාජ සාමණේරයන් ද කැටුව උන්වහන්සේ වෙත ගියහ. ඇඳිලි බැඳගෙන හිස නමාගෙන බුදුරදුන් අනුව සක්මන් කළහ. එවිට බුදුරජාණන් වහන්සේ ඒ දෙනම අමතා වාසෙට්ඨය. භාරද්වාජය, ඔබ දෙපල බ්‍රාහ්මණ මහාසාල කුලයෙන් පැවිදි වූවෝ ය. මහත් ධනයක් ද හැර දැමූහ. මේ නිසා අන්‍ය බ්‍රාහ්මණයෝ නුඹ වහන්සේලාට නින්දා අපහාස කරත් දැයි විමසූහ. එසේය, බුදුරජාණන් වහන්ස, අපගේ ඤාති බ්‍රාහ්මණයෝ අපට නිතර ගරහතියි පිළිතුරු දුන්හ.
තවදුරටත් එම දෙනම බුදුරදුන්ට දන්වන්නෝ බුදුරජාණන් වහන්ස, බමුණෝ මෙසේ කියති. බමුණන්ම උතුම් වංසවත්ය. සෙස්සෝ පහත් වංශිකයෝය. බ්‍රාහ්මණයෝම ශුක්ල වර්ණයෝය. සෙස්සෝ කාලවර්ණයෝ ය. බ්‍රාහ්මණයෝ ම ශුද්ධ වෙති. සෙස්සෝ අශුද්ධයෝය. බමුණෝ බ්‍රහ්මයාගේ මුඛයෙන් පහළවූවෝ ය. සෙස්සෝ බ්‍රහ්මයාගේ බාහුවෙන් – කලවාවලින් – පතුලෙන් පහළ වූවෝය. තෙපිද ඒ මහණුන් වෙත ගොස් පැවිදි වී හීන භාවයට පත්වූවාහු යයි පරිභව කෙරෙතියි දැන්වූහ.
එවිට බුදුරජාණන් වහන්සේ වදාරණ සේක් වාසෙට්ඨය, බ්‍රාහ්මණයෝ ලෝකෝත්පත්තිය නොදන්නාහු එසේ කියති.
උපතින් බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් හෝ නොවන බවත්, කරන කුසල අකුසල ක්‍රියාවන්ගෙන්ම බ්‍රාහ්මණ වසල වන බවත් පෙන්නා දුන්හ. ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන චතුර් වර්ණයෙහි වන සමහර ක්‍ෂත්‍රියයෝ ද ප්‍රාණඝාත – අදත්තාදාන – කාමමිච්ඡාචාර – මුසාවාද -කේළාම් – පරුෂ වචන ආදී පාප ක්‍රියා කරති. බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍රයෝද එසේය. කිනම් වර්ණයකට අයත් වූවත් පාපකර්ම කරන්නෝ වසලයෝ ය. සමහර ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍රයෝ ප්‍රාණඝාතයෙන්, අදින්නාදානයෙන්, කාමමිච්ඡාචාරයෙන්, මුසාවාදයෙන්, පිසුණාවාචයෙන්, පරුසාවාචයෙන්, සම්ඵප්පලාපයෙන්, අභිජ්ඣායෙන්, මිථ්‍යා දෘෂ්ටියෙන් වැළකී කුශල ක්‍රියාවන්හි යෙදෙති. ඔවුහු ශ්‍රේෂ්ඨයෝ වෙති. මෙසේ කුසල දහම්හි යෙදෙන ක්‍ෂත්‍රීය බ්‍රාහ්මණාදීහු ශ්‍රේෂ්ඨ වෙති. මෙම වර්ණ සතරින් එකකට ඇතුළත් වූ යමෙක් අර්හත් ද, ආශ්‍රව ක්‍ෂය කරන ලද්දේ ද වැස නිමවන ලද බඹසර ඇත්තේ ද චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන ලද්දේ ද, බහා තබන ලද බර ඇත්තේ ද,,පැමිණි රහත් බව ඇත්තේ ද භව බැඳුම් සිඳින ලද්දේ ද, මනාව දැන කෙලෙසුන්ගෙන් මිදෙන ලද්දේ ද, ඔහු ශ්‍රේෂ්ඨ වෙති. මෙලොව හා පරලොව ධර්මයම ශ්‍රේෂ්ඨ වෙයි.
පසේනදි කොසොල් ආදී රජදරුවන්ට රටවැසියෝ හුනස්නෙන් නැගිටීම, අභිවාදන කිරීම ආදී වශයෙන් ගරු කරති. එම රජවරු තථාගතයන් වහන්සේට හුනස්නෙන් නැගිටීම, වැඳීම ආදී වශයෙන් ගරු කරති. ඒ ධර්මයට සත්කාර, ගරුකාර කිරීම් වශයෙනි. නොයෙක් ජාති කුල ගෝත්‍රවලින් සසුනට පිවිසෙති. එසේ සසුන්ගත වූ විට ඔවුහු ශාක්‍යපුත්‍ර ශ්‍රමණයෝම වෙති. ඔවුන්ගේ ශ්‍රද්ධාව දැඩි ලෙස පිහිටි කල්හි එම ශ්‍රද්ධාව දෙවියකුට, මාරයකුට, බ්‍රහ්මයකුට සෙළවිය නොහැකිය.
සුරම්බට්ඨ සිටුවරයා බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. සෝවාන් වීමෙන් පසු ශ්‍රද්ධාව ස්ථිර වෙයි. ධර්ම දේශනා කොට බුදුරදුන් වැඩිය පසු මාරයා බුද්ධ වේශය මවාගෙන සුරම්බට්ඨ සිටුවරයාගේ නිවසට පැමිණ “සිටුතුමෙනි, මම ධර්ම දේශනා කරන විට රූප - වේදනා - සංඥා - සංඛාර – විඤ්ඤාණ අනිත්‍ය යයි කීවෙමි. එය වැරදීමකි. ඇතැම් රූපාදිය නිත්‍ය වෙයි යැයි කීය. එවිට සුරම්බට්ඨ තොප මාරයා නොවේද? යි ඇසීය. මාරයා පැරද පලා ගියේ ය. සෝවාන් උතුමෙකුගේ ශ්‍රද්ධාව කවරකුටවත් වෙනස් කළ නොහැකි ය.
බොහෝ කාලයක් ඉක්ම ගිය පසු මේ ලෝකය ද විනාශයට පත් වෙයි. එසේ විනාශයට පත්වන්නේ ගින්නෙන් හෝ දියෙන් හෝ වාතයෙන්ය. ගින්නෙන් නැසෙන කල ආභස්සර බ්‍රහ්මලෝකය දක්වා ගැනේ. දියෙන් වැනසෙන කල සුභකිණ්භක බ්‍රහ්මලෝකය දක්වා විනාශ වෙයි. වාතයෙන් විනාශවීමේ දී වේහප්ඵල බ්‍රහ්මලෝකය දක්වා වැනසෙයි. මේ පිළිබඳ විස්තර බුත්සරණ ආදී ග්‍රන්ථයන්හි දක්වා ඇත.
කාලාන්තරයක දී විනාශ වූ ලොව සම්පත්තිකර වරුසාවක් වැසි ජලයෙන් පිරියන්නේය. සඳ හිරු රෑ දවල් නැත. ඝනාන්ධකාරයම පවතී. තවත් බොහෝ කාලයක් ගිය කල්හි ජලයෙහි රස පොළව පිහිටයි. බඹ ලොවින් චුත වූ සත්වයෙක් මෙහි පහළ වෙයි. ඔහු ආකාශ චාරිව, ශරීරාලෝකයෙන් ආලෝකමත්ව, පී‍්‍රතියම අනුභව කරමින් බොහෝ කාලයක් වෙසෙයි. හුදෙකලාව සිටින ඔහුට තවත් අය ඇත්නම් හොඳ යයි සිතෙයි. බඹලොවින් චුතවන තවත් අය මෙහි පහළ වෙති. එවිට මුල් බ්‍රහ්මයා තමා සතු නිසා මේ සත්වයන් පහළ වී යයි මැවුම් වාදය ඇති කර ගනියි.
මෙසේ ඔවුන් ආකාශ චාරිකාව බොහෝ කලක් සිටින විට එක්තරා ලෝල ජාතිකයෙක් රස පොළව ඇඟිල්ලෙන් ගෙන රස බලයි. ඒ නිසා ඒ කෙරෙහි තණ්හාව උපදී. අන්‍ය සත්වයෝද ඔහු අනුගමනය කරමින් රස පොළව කා තෘෂ්ණාව ඇතිකර ගනිති. පසුව රස පොළව පිඬු පිඬු වශයෙන් අනුභව කළහ. එවිට ඔවුන්ගේ ශරීරාලෝකය නැති විය. ක්‍රමයෙන් හිරු සඳු පහළ විය. රස පොළොව කා ජීවත්වන විට ඔවුන් සමහර දෙනෙක් වර්ණවත් වූහ. සමහරු දුර්වර්ණ වූහ. මේ නිසා ඔවුන්ට මානය ඇතිවිය. ඊට පසු රස පොළව යටට බැස්සේ ය.




එවිට භූමි පප්පටක නම් හතු වර්ගයක් පහළ විය. සත්වයෝ ඒවා කමින් ජීවත් වූහ. මාන අතිමානාදි කෙලෙස් ඇතිවන විට භූමිපප්පටකය අතුරුදන් වී බදාලතා නම් වැල් වර්ගයක් ඇතිවිය. සත්වයෝ ඒවා කා ජීවත් වූහ. තවත් කෙලෙස් වැඩෙන විට බදාලතා අතුරුදහන් ව ස්වයංජාත හල් ඇති විය. ඒවා අනුභව කොට ජීවත් වූහ. මේ ආහාර අනුභව කරන විට ඔවුන්ගේ ශරීර රළු වී ලිංග භේදය ඇති විය. ස්ත්‍රිය පුරුෂයා දෙසත් පුරුෂයා ස්ත්‍රිය දෙසත් බලා සිටින විට කාමරාගය ඇතිවිය. මෙවුම්දම් සේවනය කළහ. රහසිගතව මෙවුන්දම් සේවනයට ගෙවල් සාදා ගත්හ. එයින් සත්වයා අතර ප්‍රජනන කාර්යය ද ඇති විය. දරුවන් හදා වඩා ගන්නට පටන් ගත්හ.
කලෙක දී එක් අලස සත්වයෙක් වරු කීපයකට හැල් ගෙන ගියේ ය. පසුව අනෙක් සත්වයෝද එසේ කළහ. මෙසේ රැස්කිරීම ආරම්භ වූ පසු ඔවුන්ගේ කල කෝලාහල ඇති විය. ඒවා විසඳා ගැනීමට පුරුෂයෙක් පත්කර ගත්හ. ඔහු ඉමහා සම්මත” නම් විය. ක්‍ෂේත්‍රයට අධිපති හෙයින් පසුව ක්‍ෂත්‍රිය යන නම භාවිත විය. ලාමක අකුශල ධර්මයන් දුරු කෙරෙති යන අර්ථයෙන් බ්‍රාහ්මණ නම් වීය. එම බ්‍රාහ්මණයෝ ආරණ්‍යවල වෙසෙමින් ධ්‍යාන භාවනා කරති. ආහාර සඳහා පිඬු සිඟා යති.
මේ සත්වයන් අතර ඇතමෙක් කාම සේවනය කරමින් ගව පාලනය, වෙළ හෙළඳාම් ආදියෙහි යෙදුණහ. මෙසේ මෛථුන ධර්ම සමාදානයත්, ප්‍රසිද්ධ කර්මාන්ත කරන නිසාත් වෛශ්‍ය නම් විය. ඒ සත්වයන් අතරින් සමහරු රෞද්‍ර ක්‍රියා ඇත්තෝ ය. ඔවුන් ක්‍ෂුද්‍ර යන නාමයෙන් හැඳින්විය. මෙම ක්‍ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්‍ෂුද්‍රයන් අතරින් ශුද්ධියක් ලැබීමට ගිහිගෙයින් නික්ම වාසය කරන්නෝ ශ්‍රමණය නම් විය. ක්‍ෂත්‍රීය, බ්‍රාහ්මණ ආදී වර්ණ ධර්මයන්ගෙන් ශුද්ධියක් ලබාගැනීමට නොහැකිය. සම්‍යක් ප්‍රතිපත්තියෙන්ම ශුද්ධිය ලබා ගත යුතුය. ඒ නිසා ශ්‍රමණ සමූහයාගේ පහළවීම ඇතිවිය.
ක්‍ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ක්‍ෂුද්‍රයෙක් හෝ සිතින්, කයින් වචනයෙන් පව්කම් කෙරෙත් ද ඒ පව්කම් හේතුවෙන් මරණින් මතු නිරයෙහි උපදින්නේ ය. එසේම ඔවුහු සිතින් කයින් වචනයෙන් කුසල ධර්මයන් වඩා සුගතියෙහි උපදින්නෝ ය. එසේම ක්‍ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්‍ෂුද්‍රයෝ කයින් වචනයෙන් සිතින් පාපයෙන් වැළකී සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් වඩා මේ ආත්ම භාවයෙහිදීම ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවන් පාන්නේ ය. ඔවුහු ම ශ්‍රේෂ්ඨයෝ වෙති. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව කළ කල්හි වාසෙට්ඨ, භාරද්වාජ දෙනම සතුටට පත් වී සාධුකාර දුන්හ. සිවිපිළි සිඹියා සහිත රහත් භාවයට පත්වූහ.
ලෝකය විනාශ වන්නේ එක වාරයක් නොවේ. වරින් වර විනාශ වෙමින් වැඩේ. මේ සූත්‍රයෙන් දක්වා ඇත්තේ එක් අවස්ථාවක ලෝකය විනාශ වූ ආකාරයයි. ලෝක විනාශය හා සත්ව විනාශය යනු දෙකකි. ධර්මයෙහි සඳහන් පරිදි මෛත්‍රී බුදුපියාණෝ මෙම මහාභද්‍ර කල්පයෙහි ම පහළ වෙති. ඒ අතර සත්වයාගේ ආයුෂ ක්‍රමයෙන් අඩුවීගෙන ගොස් මෘගසං වරුසාවක් වැසී බොහෝ මිනිස්සු විනාශ වෙති. ඒ සත්ව විනාශයයි. ඉන් පසු ඉතුරු වූ කිහිප දෙනා ගුණ ධර්ම වඩන්නට පටන්ගත් පසු ඔවුන්ගේ ආයුෂ ක්‍රමයෙන් වර්ධනය වී අසංඛ්‍ය ගණන් ආයුෂ ඇතිවේ. නැවත ගුණ ධර්ම පිරිහෙන විට ආයුෂ අඩු වී අසූදහසකට ආයුෂ බැස්ස විට මෛත්‍රී බුදුපියාණෝ ලොව පහළ වෙති. ඊට පසු ක්‍රමයෙන් පිරිහී ගෙන ගොස් ලෝක විනාශය ඇති වෙයි.
මෙම සූත්‍රයෙහි මිනිසාගේ ගුණ ධර්ම පරිහානිය පරිසරයට බලපාන අයුරු මනාව දක්වා ඇත. පරිසර හානියට මිනිසාගේ ගුණ ධර්ම පිරිහීමත් පරිසර සංවර්ධනයට ගුණ ධර්ම දියුණු වීමත් හේතු වන බව මනාව පැහැදිලි වේ.
.............................................................................................................................................



පමා නොවන්න


නමෝතස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අප්පමාදෝ අමතපදං
පමාදෝ මච්චුනෝපදං
අප්පමත්තා න මීයන්ති
යේ පමත්තා යථාමතා


කාරුණික පින්වත්නි,

ඉහත ගාථාවෙන් අදහස් වන්නේ කුසලයෙහි සිහිබුද්ධිය ඇතිව ජීවත්වීම නම් වූ නොපමා බව නිවනට මඟයි. සිහිබුද්ධියක් නොමැතිව අවිද්‍යාව නිසා කුසල පිරිහීම සසර දුකට මඟයි. නොපමා වූ අය සසර දුකට නොපැමිණේ. හෙවත් නොමැරෙත්, පමාවුවෝ ජීවත්ව සිටියත් ඔවුන් මළවුන් වැනිය.
දිනක් බුදුරජාණන්වහන්සේ භික්‍ෂූන් වහන්සේ අමතා වදාළා “ මහණෙනි , මේ ලෝකයේ මනුෂ්‍යයන් සැප, දුක්, උපේක්‍ෂා කියල විඳීම් තුනක් විඳිනව. මේ සැප, දුක්, උපේක්‍ෂා විඳිද්දී සමහරු තුළ කුසල් වැඩෙනව. අකුසල් පිරිහෙනව. සමහරු තුළ අකුසල් වැඩෙනව.
කුසල් පිරිහෙනව. අප්‍රමාදී පුද්ගලයා කුසල් රැස්වන අන්දමින් සැප, දුක්, උපේක්‍ෂා විඳිනව. ප්‍රමාදී පුද්ගලයා සැප , දුක්, උපේක්‍ෂා විඳිමින් අකුසල් රැස් කරනව. සමහරු ප්‍රාණඝාත කරල තාවකාලිකව සැප විඳිනව. හොරකම් කරල, මත්ද්‍රව්‍ය විකුණල කාලබීල තාවකාලිකව සැප විඳිනව. පස්පව්වල යෙදිල තාවකාලිකව සැප විඳිනව. මහණෙනි, ඒ සැප තාවකාලිකයි. එයින් අකුසල් වැඩෙනව. කුසල් පිරිහෙනව.”
පින්වත්නි, නන්ද නමින් ගව ඝාතකයෙක් සිටිය. ඔහුට දිනක් ආහාරයට මස් නැතිව තමගෙය පිටිපස සිටි ඔහුගේම ගවයා පණපිටින් සිටියදීම දිව ඇද කපාගන එය බැදගන ආහාරයට ගත්තා. ඒ මොහොතේම ඔහුගේ දිව ගැලවී ඔහුගේ ආහාර පිඟානට වැටුණා.
දෙව්රම් වෙහෙර අසල සිටි චුන්දසූකරික රැකියාවට කළේ ඌරන් මරා වෙළදාම. ඔහුගේ අප්‍රමාදය නිසා නැතොත් කුසලට ඇති අකැමැත්ත නිසා බුදුන් දකින්න බණ පදයක් අහන්න වාසනාව තිබුනේ නැහැ. මරණ මොහොතේ ඌරකු මෙන් දින හතක් මුළුල්ලේ බෙරිහන් දුන්නා. ඔහු මැරී අවීචි මහා නරකාදියේ උපන්නා. මෙසේ සමහරු සැප විඳීම නිසා අකුසල් රැස් කරනවා. කුසල් පිරිහෙනව.
බුදුරජාණන් වහන්සේ නැවත වදාළා, “ මහණෙනි අප්‍රමාදි පුද්ගලයා ධාර්මිකව ධනය රැස්කරනව. ගුණධර්ම උපදවාගන්නව. මස් පිණිස සතුන් ඇති කිරීම, විනාශකාරී ආයුධ මත්ද්‍රව්‍ය වෙළදාම ආදි අකටයුතු රැකියා ඔහු කරන්නේ නැහැ. ධාර්මිකව වෙළහෙළදාම් කරනව. ගොවිතැන් කරනව. ඔහු තුල කුසල් වැඩෙනව. අකුසල් පිරිහෙනව.
ඒතං විසේසතෝ ඤත්වා අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදේ පමෝදන්තී අරියානං ගෝචරේ රතා


පමාවූවනට සසරින් ගොඩඒමක් නැතිබවත්, නොපමාවූ පුද්ගලයාට සසර ගැලවීම ඇතිවන බවත් දන්නා මෙම නුවණැත්තෝ බුද්ධාධි ආය¸යන් වහන්සේලාට ගෝචර වූ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම නවලෝකෝත්තර ධර්මයන්හි ඇලෙමින් අප්‍රමාදීව කටයුතු කර මෙලොවද සතුටුවෙනව. පරලොව සඳහා කුසල් රැස්කර පරලොව ජීවිතය ආලෝකවත් කරගන්නව.
බරනැස්නුවර නන්දිය නම් සැදැහැවත් කුළපුත්‍රයෙක් සිටියා. ඔහු ඉසිපතන මහාවිහාරයේ ගබඩා හතරකින් යුත් ආවාසයක් කරවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය දන් වළදවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්ථයේ පැන්වත් කර ආවාසය පූජා කළා. ඔහු මෙලොව සිටියදීම තව්තිසා දෙව්ලොව දෙවඟනන් සහිත සත්රුවනින් පිරි දෙව්විමනක් පහළ වුනා.
තෝ ඣායිනෝ සාතතිකා නිච්චං දල්හ පරක්කමා
ඵූසන්ති ධීරා නිබ්බානං යෝගක් ඛේමං අනුත්තරං


මෙම අය කිසිවිට අකුසලයට යොමුවන්නේ නැහැ. ධ්‍යාන භාවනා කරන මෙම අය නිරතුරුවම කුසල් සිත් උපදවා ගැනීම සඳහා කරන දැඩි වීය¸ ඇතිව කාමභව, දිට්ඨි, අවිජ්ජා සිවු ඕඟයන් පහසුවෙන්ම තරණය කර උතුම් වූ නිවන්මඟට පැමිණෙනව.
ධම්මික උපාසකතුමා අප්‍රමාදීව අනන්ත අප්‍රමාණ කුසල් කළා. මරණ මොහොතේ සංඝයා වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා. ඒ අවස්ථාවේ සදෙව් ලොවේ දෙවිවරු දිව්‍ය රථ හයකින් පැමිණ ඒ ඒ දෙව්ලොවට පැමිණෙන ලෙස ධම්මික උපාසකතුමාට ඇරයුම් කර සිටිය. මෙසේ මෙම පුද්ගලයා මෙලොවත් සැනසෙනව. පරලොවත් සැනසෙනව.
උට්ඨානවතෝ සතිමතෝ සූචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝභි වඩ්ඪති


ඒ වගේම මෙම නොපමාවූ පුද්ගලයා පසු නොබසින වීය¸ ඇතිව, සිහියෙන් යුක්තව, නිදොස් ක්‍රියා ඇතිව පරීක්‍ෂාකර ක්‍රියා කරන්නා වූ, කය, වචන දෙකින් හික්මුණු වූ අයෙක් වන අතර මෙලොවදීම අධිපතිභාවය, වස්තුව, ගරුබුහුමන් කීර්තිය වැඩෙනව.
උට්ඨානෙනප්පමාදේන සඤ්ඤමේන දමේනච
දීපං කයිරාථ මේධාවි යං ඕඝෝ නාභීකීරති


එමෙන්ම මෙම නොපමාවූ පුද්ගලයා උට්ඨාන වීර්යෙන්ද අප්‍රමාදයෙන්ද, චතු පාරිශුද්ධ ශීලයෙන්ද, ඉන්ද්‍රිය දමනයෙන්ද යන මේ ධර්මයන්ගෙන් සමන්නාගත වෙනවා. ඔහු කෙළෙස් නමැති මහා ගංවතුරට යට නොවන රහත් බව නමැති දිවයින සාදාගන්නව.
නැවත බුදුරජාණන්වහන්සේ දේශනා කරනව. මහණෙනි, සමහරු ජිවත්වීම සඳහා අනන්ත දුක්විඳිනව. ඒ දුක්විඳින ඔහු තුළ අකුසල් වැඩෙනව. කුසල් පිරිහෙනව. සමහරු කායිකව අනන්ත දුක්විඳිමින් අත්තකිලමතානුයෝගීව ජීවත්වෙනව. ඔවුන් අවිද්‍යාවෙන් අන්ධවෙලා ගවයින්, සුනඛයින් මෙන් ඔවුන්ගේ වෘත අනුගමනය කරනව. ඒ සතුන්මෙන් ජීවත් වෙමින් අනන්ත දුක් විඳිනව. මෝහයෙන් අන්ධ වූ ඔවුන් එයින් සුගතිය බලාපොරොත්තු වෙනව. ඔවුන්ට එයින් සුගතියක් ලැබෙන්නෙ නැහැ. ඔවුන් මෙලොවත් දුක්විඳිනව. පරලොවත් අපාගතවී දුක්විඳිනව. තව සමහරු සතුන් මරණව. සොරකම් කරනව. නොයෙක් අන්දමේ වැරැදි වැඩ කරමින් බියෙන් තැතිගැන්මෙන් ජීවිතය ගත කරනව. ඔවුන් තුළ අකුසල් වැඩෙනව. කුසල් පිරිහෙනව. ඔවුන් දුකින් දුකටම වැටෙනව.”
පින්වත්නි, අද සමාජය ගැන සිතන්න. අනන්ත දුක්විඳින අය ඉන්නව. ඒ අය දුකෙන් නිදහස්වෙන්න උත්සාහ ගන්නෙ නැහැ. වෙනත් සැපවිඳින අය බලා හූල්ලනව. ඊර්ෂාකරනව. අනුන්ගේ දියුණුව රුස්සන්නේ නැහැ. දියුණුවෙන අය බලා වේදනා විඳිනව. ඔහුගේ ප්‍රමාදය ඔහුම තවනව. කුසලයක් කරන්න හිත යොමුවන්නෙ නැහැ. විහාරස්ථානයකට පොහොය දිනටවත් යන්නෙ නැහැ. අවිද්‍යාවෙන් අන්ධවූ ඔහු සැප පතා මත් වතුර සොයනව. අනුන්ගෙ මුදලට කෑදරකමින් සූදුවට යනව. මුදල් සොයන්න අනන්ත දුසිරිත් කරනව. මෙයින් ඔහු දුකෙන් දුකටම පත්වෙනව. පවුලේ සමගිය බිදෙනව, මුළු පවුලම විපතට පත්වෙනව. ඔහු තුළ අකුසල් වැඩෙනව. කුසල් පිරිහෙනව. මරණින් මතු අපාගත වෙනව.
නැවත බුදුරජාණන්වහන්සේ වදාළ “ මහණෙනි, සමහරු ඉතාමත් දුකසේ ජීවත්වනව. එහෙත් එම අය වැරැදි වැඩ කරන්නෙ නැහැ. සොරකම් කරල ධනය සොයන්න පුළුවන්.ඒත් ඔහු එය කරන්නේ නැහැ. මත්ද්‍රව්‍ය ආදි අකටයුතු වෙළදාම්වලින් මුදල් උපයන්න පුළුවන්. ඔහු එවැනි දෙය කරන්නෙත් නැහැ. ධාර්මිකව උපයාගත් දෙයින් දුකසේ ජීවත්වෙනව. “ පෙර භවයේ දන් නුදුන් නිසා මෙසේ දුගී බවට පත්වී උපන්නේයයි කියා ලැබෙන තරමින් හැකි අන්දමට දානාදි පින්කම් කරනව. දුගීව ඉපදුනත් ඔහු තුළ ප්‍රඥාව තියනව. ඒ නිසා ඔහු සත්පුරුෂ ආශ්‍රය කරනව. විහාරස්ථාන ඇසුරුකර ජීවත්වෙනව. මෙලෙස අප්‍රමාදිව ධර්මයේ හැසිරෙන මේ පුද්ගලයාගේ අකුසල් පිරිහෙනව. කුසල් වැඩෙනව.”
පින්වත්නි, පුණ්ණ නම් අය සුමණ සිටුවරයාට දාසකම් කරන අන්ත අසරණ දුගියෙකි. ඔහු සීසාන විට කුඹුරට වැඩිය සාරිපුත්ත මහරහතන් වහන්සේට දැහැටි දඬු හා පැන් පූජා කළා. තමන්ට ගෙන ආ බත්පත බිරිය විසින් සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කළා. ඔහු එම පිනද අනුමෝදන්වි චිත්ත ප්‍රබෝධයට පත්වුණා. කුසලයට යොමුවීමේ අප්‍රමාදිබව නිසා ඔහුට එම අවස්ථාවේම කුඹුරේ රත්ත්‍රන් නිධියක් පහළ වුනා. පසුව සිටු තනතුරද ලැබුණා.
කුසලයෙහි සිහිබුද්ධිය ඇතිව ජිවත්වන අයට ධනය හෝ දුගී බව හේතුවන්නේ නැහැ. අවශ්‍යවන්නේ චිත්ත පාරිශුද්ධිය පමණයි. කාශ්‍යප මහ රහතන් වහන්සේට පොරි ටිකක් පූජා කළ මහලු කාන්තාව එම පිනෙන් තව්තිසා දෙව්ලොව ලාජා නම් දෙවඟන වී උපන්නා . එසේ නම් කුසලයෙහි සිහි බුද්ධිය නම් වූ නොපමා බව ඇති කරගෙන අකුසල් ප්‍රහාණය කර අප්‍රමාදි බව නම් වූ කුසල් වර්ධනය කර මෙලොව ජීවිතය සැපවත්කර නිවන්මඟ දොරටුව විවරකර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.
.................................................................................................................................................................

සසර සැපත


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“අන්ධභූතො අයං ලෝකො
තනු කෙත්‍ථ විපස්සති
සකුන්තො ජාල මුත්තොව
අප්පොස්සග්ගාය ගච්ඡති”


පින්වතුනි!

මේ ලෝකය තුළ ජීවත්වන බොහෝ පුද්ගලයෝ නුවණ මෙහෙයවීමෙන් තොරවීම නිසා අන්ධභාවයට පත් වෙයි. නමුත් මේ පිරිස අතරම ස්වල්ප වූ කොටසක් ජීවිතයේ අරුත හෙවත් පඤ්චස්කන්ධයේ යථාවබෝධය දකියි. ඔවුන් දැලින් මිදුනු වටුවකුසේ නිදහස්ව ගමන් කරන්නේ යම්සේද එසේ සසරදුකින් සසර සැපතට පත්වෙයි.

මසැස තිබුණ ද මනස නැත්නම් ඔහු අන්ධයෙකි. පුහුදුන් ජනයාට නුවණ මඳ බැවින් එය දැනගත හැක්කේ නුවණැතියන්ටය. අන්ධබවින් මිදුණු හොඳ ගතිනම් හොඳ නරක, මඟ නොමග, යුතු අයුතු, නිත්‍ය අනිත්‍ය, ශුභ අශුභ, සුඛ දුක්ඛ කළයුතු නොකළයුතු වරද නිවරද කුසල් අකුසල් මෙලොව පරලොව වශයෙන් දැනගැනීමේ හැකියාවක් තිබිය යුතු ය.
ලෝකය විවිධ විධියට අර්ථදැක්විය හැකි ය. කෙසේ නමුත් අපට පියෙවි ඇසට පෙනෙන ලෝකය අපට දැනෙන තරමට ලෝකය යනුවෙන් භාවිතා කරයි. ලෝක ධාතුව වශයෙන්ද සත්ව ලෝකය වශයෙන්ද ලෝක යන්නෙන් හඳුන්වයි. මේ ලෝකය සුන්දර නැත. එසේම අසුන්දරද නැත. ලෝකය ස්වාභාවික තත්ත්වයන්ට පත්වෙයි. ලෝකය මිනිසා විසින් ඇස කන් ආදී ඉඳුරන් විසින් අත්පත් කර ගනී. අහස හා පොළොව දෙස බලන්න එය අපට කැමැති අයුරින් ක්‍රියාත්මක නොවේ. අහස දෙස මොහොතක් බලන්න. විටෙක සූර්යයා පායා එන විට ලෝකය ආලෝක වෙයි. දහවල්ට අධික රශ්මිය ගෙනදී සවසට බැස යයි. මුළු අහසම අඳුරුවෙයි. විටෙක වැසි, විටෙක දරුණු අකුණු විටෙක පුන්සඳ තාරකා ආදී දේද වෙයි. මෙවැනි තත්ත්වයන් මත විටෙක සිනහව විටෙක අරුමය තවත් විටෙක බිය, ගෙන දෙයි. මේවා දකින අහන අපේ ඉන්දීයයන් තුළින් මනස වෙනස් වෙයි. මේවා අපට අවශ්‍ය ආකාරයට සිදුවිය යුතු යයි සිතේනම් එය අපගේ අනුවණකම නොවේද? බලන්න පොළොව දෙස දිය ඇලි, ගංඟාවන් උස් පහත් කඳු එසේම දිය උල්පත් ගිණි කඳු සුනාමි මේවාද ස්වාභාවිකව සිදුවන සිද්ධීන්ය. මේවා දකින අහන අපේ මනස ද සතුට දුක විටෙන් විට ඇතිවෙයි. නමුත් අපට පාලනය කරගත නොහැකිය.
පින්වතුනි!
බලන්න අපේ සිත දෙස විටින් විට වෙනස් වෙනවා. එකම අදහසක් කුමන වේලාවකදීවත් නෑ. හරියට අහස පොළොව වගේ. ඉතින් මේ හිත හදාගන්න පුළුවන්ද? තැන්පත් කර ගත හැකිද? එසේ සිත සකස්කරගත හැක්කේ ප්‍රඥාවන්තයෙකුට පමණි. බලන්න අප අවට පරිසරය කොතරම් ඉක්මනින් වෙනස් වෙනවාද? උදයට පිපෙන මල් හවසට පරවෙලා වැටෙනවා. බලන්න අපිත් එක්ක ජීවත්වන මිනිස්සු හරිම විවිධාකාරයි. රාග චරිත, දෝස චරිත, මෝහ චරිත, හොඳ නරක මිතුරන් මේ සමාජය තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඕනෑ. ඒ තමයි සම්මා දිට්ඨිය ඇති කර ගත යුතුය කියල කියන්නේ. ධර්මයේ උගන්වන පළමු කාරණය තමයි ඇත්ත ඇති සැටියෙන් දකින්න කියලා.
පස්කම් සැපත මාරයාගේ දෑල හා සමාන ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. මේ දැලෙන් මිදෙන්න හිත හදාගන්න එක ලෙහෙසි නෑ.
“නත්ථි රාග සමො අග්ගි
නත්ථි දොස සමො කලී
නත්ථි චන්ධ සමා දුක්ඛා
නත්ථි සන්ති පරං සුඛං”

රාගය සමාන ගින්නක් නැත. රාග සිතිවිලි වලින් සිත ගිණිගත්විට ඒ පුද්ගලයාට සත්‍ය හෝ අවංක භාවයක් ඇතිවන්නේ නැත. අනුන් ද පුළුස්සා ගෙන තමන්ගේ සසර ගමනටද එම ගිණි එකතු කර ගනී. ඒවගේම ද්වේෂය හා සමාන අපරාධයක් නැත. ඕනෑම පුද්ගලයෙක් අපරාධයක් සඳහා පෙළැඹෙන්නේ සිත දැඩි ද්වේෂ සහගත තත්ත්වයක් තුළයි. එම නොසන්සුන් තාවයට තවත් අයෙකුගේ ජීවිතය වූවද බිලිගත හැකි ය. එසේම පංචස්කන්ධය තරම් දුකක් ද අපට තවත් නැත. සංසාරයට එකතුවූ දා සිට අප කෙතරම් දුක් විඳින්නට ඇත්ද? ඉපදුණු වාර ගණන ලෙඩ වූ ගණන, මැරුණ වාර ගණනෙහි කෙළවරක් නැත. ඒ වගේම මේ සසර ගමනේ ඉදිරියටත් එසේමය. සැනසීමක් ලැබෙනුයේ මේ සියලු දුක් කෙළවර කොට නිවන් සුවය ලැබීමෙන් පමණකි.
පින්වතුනි!
අපි දැන් අප දෙසට නැවත වරක් හැරී බලමු. “දුල්ලබංච මනුස්සත්‍ථං” මනුස්ස ආත්මයක් ලැබීමම දුර්ලභ කාරණයකි. එනිසා මේ සත්ව ලෝකය තුළ මනුෂ්‍යයෙක් වී ඉපදීමම සසරේ ලොකු ජයග්‍රහණයකි. එනිසා අපි සසරෙහි මහා පින්කම් සිදුකරන ලද පුණ්‍යවන්තයෝ වෙමු. මෙය හොඳින් තේරුම් ගත යුතු ය. සසරේ එකතු කරගත් පිනේ මහිමය අපි තව තවත් වර්ධනය කර ගත යුතු ය. බොහෝ දෙනා පින අවසන් වනතුරු මනුස්ස ජීවිතයේ අකුසලයන් රැස් කරගනියි. සසරේ කරන ලද මහා පින අවසන් කළ ඔවුන් නැවත වතාවක් තිරිසන් ප්‍රේත ආදී ජාතිවලට පත්වෙයි. නමුත් නුවණැති පුද්ගලයා මුළු සසරම අන්ධකාරයක්සේ තේරුම් ගෙන ප්‍රඥාව නමැති ආලෝකයෙන් ජීවිතය ආලෝකවත් කරගනී.
අපට අපිව පාලනය කරගත හැකිද? පංච ඉන්ද්‍රියන් ගේ පිනවීම සතුටක් ලෙස අපට විටෙක සිතෙන්නට පුළුවනි. නමුත් යථාර්ථය නම් සසර ගමන පුරාවට පිනවා අවසන් කළ නො හැකි මේ ඉන්ද්‍රිය අපිට පිනවන්න හැකිවේද? එක ඉන්ද්‍රියක් හෝ අප පිනවා අවසන් කර තිබේද? නැත.





එසේ නම් මේවා අප සසරේ තවත් වෙහෙසකරවන, දුක ලබාදෙන දොරටු මිස සැප ළඟා කිරීමක් නොවන්නේ ය. සැප සොයන පුද්ගලයා දුක මගින් පීඩාවට පත්වෙයි. ලාභය සොයන පුද්ගලයා අලාභයෙන් පීඩාවටත් පත්වේ. ප්‍රශංසාව සොයන පුද්ගලයා දුක් විඳින්නේ නින්දාවෙනි. මේ ආකාරයට අප අටලෝදහමෙන් නිතර කම්පාවට පත්වෙයි.
අනිත්‍යයේ ස්වාභාවය දුකයි. අනිත්‍ය නම් දුකයි. “යදනිච්චං තං දුකචං” නමුත් අනිත්‍යද දුකක් බවට පත්වන්නේ අනිත්‍ය යථාවබෝධයෙන් නොදැකීමයි. අනිත්‍යය සැපතට ද උපයෝගී කරගත හැකිය.
මෝඩකමේ අනිත්‍යතාවය නුවණැති භාවයට පත්කරගත යුතුය. මනසේ අනිත්‍යතාවය අකුසලයෙන් කුසලයට වෙනස් කරගත යුතු ය. අප තුළ අහිංසක හොඳ නුවණැති මිනිසෙක් මෙන්ම ඉතා නරක දුක්ඛිත පුද්ගලයෙක් ද සිටී. ලෝකය තේරුම් ගෙන තමා කවරෙක්ද? යන්න අවබෝධ කරගෙන පංචඉන්ද්‍රියන් තුළින් නිවැරැදි පිනවීමක් ධර්මය මත පිහිටා කටයුතු කෙරේ නම් හොඳ සැනසිලිදායක ජීවිතයක් ගත කළ හැකි ය.
ඒ අනුව ජීවිතයේ පරමාර්ථය කුමක්ද යන්න? අප විසින් තේරුම්ගත යුතු ය. බොහෝ දෙනා ජීවත්වෙන්නේ පටු පරමාර්ථ මුදුන්පත්කර ගැනීමට ය. එනම් පිනවා අවසන් කළ නොහැකි මේ ඉන්ද්‍රිය පහ සතුටු කිරීම සඳහා පමණි. ජීවිතයට හොඳ පරමාර්ථ එකතුකරගත යුතුය. ඔබේ චරිතයේ එවැනි පරමාර්ථ සකස් කර ගැනීමට විවිධ චරිත ලක්‍ෂණයන් දියුණුකරගත යුතු ය. ඔබ විටෙක පියෙක් විය හැකිය. එහිදී ඔබ පියගුණ දියුණුකරගත යුතුය. ඔබ වැඩපළෙහි අලසයෙක්, කම්මැලියෙක් නොවී ධෛර්යයෙන් කටයුතු කරන්නෙක් විය යුතුය. ඔබ විටෙක ආදරවන්තයෙක් විය හැකි ය. එහිදී අවංක සත්‍ය භාවයෙන් ආදරය කළ යුතු ය. ඔබ පාරේදී මඟියෙකි. ඔබ එහිදී සිහිකල්පනාවෙන් ගමන් කළ යුතු ය. ඔබ කාන්තාවක නම් ඔබේ අරමුණු දියුණු කිරීමට විවිධ චර්යාවන් ඔස්සේ සිදුකළ හැකි ය.
ඔබ ස්වාමි දියණියක් නම් තම යුතුකම් මැනවින් අවංකව හා කාර්යක්‍ෂමව සිදු කළ යුතු යි. ඔබ මවක් නම් මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ඛාව යන සිව්බඹ විහරණයෙන් තම දරුවන් මෙන්ම අන් දරුවන්ටද ආදරය දැක්විය යුතු ය. ඔබ ඔබේ කාර්යාලයේ දී තම වගකීම තේරුම්ගෙන නිවැරැදිව ක්‍රියාකරන්නේ නම් ඔබේ ජීවිතය තෘප්තිමත් එකක් වනු ඇත.
පින්වතුනි!
මීට වසර 2600 කට පෙර ලෝක සත්වයන්ගේ වාසනාවකට මිහිපිට බිහි වූ ලොව විශිෂ්ටතම ශාස්තෘන් වහන්සේ නම් අප සම්මාසම්බුදු පියාණන් වහන්සේ ය. උන්වහන්සේගේ ශ්‍රී මුවින්දේශිත සෑම වචනයක්ම සියලු සත්වයන්ගේ සැපතටම හේතුවේ.
බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ අසා අවබෝධ කරගන්නා පුද්ගලයන්ට දුක් විඳීමට නොවේ. දුකින් අතමිදී සැපතට පත් වීමටයි. ඒ සැපත නම් අනෙකක් නොව දෙවි මිනිස් සැපය.
සසර කෙළවර අවසන් සැපතටම පත්විය යුතුමය. එනම් නිවන් සැපතයි. ඒ මග යන්නට නුවණ දියුණු කරගත යුතු ය. ඔබට ධර්මය තුළින් සැපවත් ජීවිතයක් ලබන්නට ත්‍රිවිධරත්නයේ පිහිට ලැබේවා.!!

තෙරුවන් සරණයි












 

 
 

What People are Saying

What People are Saying

I just finished reading my report and I am experiencing something I've never had happen to me before. I am feeling calm...centered...what I feel would be best described as inner peace. Honestly, the Past Life Reading exceeded my expectations! It answered so many questions for me...questions that I would never voice out loud and reassured me of my self-doubts. I found this reading to be quite unique and special! I laughed...I cried...and I feel validated. Please get this reading for yourself...in order to take care of you!

-- Elana,USSR

Let me start by saying thank you for this spectacular reading. I found it quite useful in my every day dealings with others etc. Everything now, has greater meaning than before I had this reading done. I must say I was skeptical at first, however, for the money, it was worth every cent! I would also like to venture further into my past lives, and find out just who I was in each of my past lives! Again, thank you Lakshmi Astrology.com for this reading, I will make reference to it from time to time.

-- Kapila Verma, Canada

Impressive! This is probably the single most helpful and inspirational astrological reading I have ever had. And I have had many. It really hit right on when it comes to my inner feelings and drives and confirmed what I have long felt but not expressed. For the first time in years I now see a clear path for my living, growth and expression.

-- Paul Daniel , United States