Powered by Blogger.
free counters

යමෙක් මඟට පිළිපන්නේ නම් ඔහු මගියෙකි. ජන සංස්කෘතියට අනුව ඔහුට උරුම නවාතැන වූයේ අම්බලම යි. වැහි මන්දාරමත්, ගොම්මන් කළුවරත් කැටුව කඩිනම් ගමනින් තනි මග යන තරුණියක දකින තරුණයකුගේ සිතැඟි කෙසේ විය හැකි ද? බමුණන් පවසන ආකාරයට පොදු වැස්ස, මද අඳුර හා හුදෙකලාව ඇති තැන ගැහැනියගේ පතිවත නැත. බමුණු මතයෙන් ඔබ්බට ගිය දේශීය සංහිඳියාවක් ප්‍රකට කෙරෙන ලෙස ඉහත ගැමි තරුණයා සිය සිතැඟි තරුණියට ඉදිරිපත් කරන්නේ මෙසේ ය.
“අල්ලාගෙන නෙරිය අතකින් ඇයි ද නගෝ
වසාගෙන දෙතන අතකින් ඇයි ද නගෝ
හිමිසද නැති මේ තනිමග ඇයි ද නගෝ
අම්බලමේ අපි නැවතී යමු ද නගෝ”

නිරන්තරයෙන් ජනශ්‍රැතිය නිර්මාණය වූයේ දේශීය සංහිඳියාවත් සමඟ ය. එමෙන් ම දේශයට අනන්‍ය වූ චින්තනයේ පිහිටා ය. ඒ නිසා ම ඒ ඇසුරින් බිහිවන නිර්මාණයන්හි ද ඒ ලක්ෂණය පලට විය යුතු ය.

“නගේ නගේ වැහි එනවා - පැලට වරෙන්නේ
අකලට ආ වැහි කෝඩෙට මොට ද තෙමෙන්නේ”
“ගෙදර අයත් ගමේ ගිහින් පාළු දැනෙන්නේ
වැස්ස තුරල් වනතුරු ටිකකට නවතින්නේ”

අතීත තරුණයාටත් වත්මන් තරුණයාටත් වස්තු විෂය වන්නේ එකම කරුණ හා එකම හැඟීමයි. වෙනස් වන්නේ ස්ථාන දෙක පමණි. දෙදෙනාම එක ම චින්තනයක පිහිටා සංහිඳියාවෙන් කරන ප්‍රකාශනයන් වෙනත් මතවාදයන්ගෙන් වෙන් කර අප සතු අනන්‍යතාව ඉස්මතු කරන ආකාරය පැහැදිලි ය.
ජනශ්‍රැතිය ඉස්මතු කරන්නේ එබඳු තමන්ට අනන්‍ය වූ චින්තනයයි. විවිධ දේශයන්ට අනන්‍ය ලෙස ඒ ඒ චින්තනයන් ගොඩනැඟෙන අතර ලක්දිවට අනන්‍ය පේ‍්‍රමය හා බැඳි සංයමය එහි නිරූපිතය. පේ‍්‍රමයෙහි හුදෙකලා නොකර ඒ සංයමය සමස්ත හැඟීම් වෙතම පොදු කළ විට එය බෞද්ධ දේව ධර්මයෙන් සික්ෂිත සමස්ත ජාතිය ම නිරූපණය කරනු ඇත.
දේශයකට අනන්‍ය වූ කලාවක් බිහිවන්නේ ඒ රටේ ජනතාවගේ පොදු චින්තන ධාරාව හෙවත් සිතීමේ පොදු හැඩතලයට අනුව යි. ජනශ්‍රැතිය කියාපාන්නේ ද ඒ පොදු හැඩයයි. සාහිත්‍ය, සංගීතය, නර්තනය ආදි කලාවන්ගේ මූලබීජ සපයන්නේ ද ඒ ජනශ්‍රැතියයි. භාරතීයයන්ගේ ගායන වාදන හා නර්තනයන්හි සම්භවය සිදුවන්නේ දෙවියන් අතින් යැයි ඔවුහු විශ්වාස කරති. සිරිලක වුවත් ඇතැම් වාද්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් එබඳු දේව නිර්මාණවාදී මත ජනශ්‍රැතියේ තිබේ.

“එකලට සක් දෙවි ඇවිදින් විගසින්
මෙලොවට බෙරයක් මවමැයි සිතමින්”

කලාව සම්බන්ධයෙන් වූ දේව නිර්මාණවාදි මතය ජනශ්‍රැතියක් සේ ගැනෙන අතර යම් හැඟීම් මාත්‍රයක හෝ ක්‍රියාකාරකම් මාත්‍රයක ක්‍රමික පරිණාමය මඟින් විවිධ කලාවන් බිහි වී යැයි පර්යේෂණාත්මක නිගමනයන්ට එළඹීමේ පරිණාමවාදී තවත් මතයක් ද ඒ අතර වේ. කෙසේ වෙතත් ඒ පරිණාමයට භාජනය වූ හැඟීම් මාත්‍රයේ හෝ ක්‍රියාකාරකම් මාත්‍රයේ මුල් අවදිය ජනශ්‍රැතිය සේ වර්තමානයේ පිළි ගැනේ. එනම් උදාහරණ ලෙස අතීත මානවයා ස්වාභාවිකත්වය අවබෝධ කරගත නොහී නිර්මාණය කරගත් විවිධ වූ පුද පූජා ආශ්‍රයෙන් ගායන වාදන නර්තන බිහිවී යැයි මතයකි. අද ඒ මූලයන් විදග්ධ කලාවන් බවට පත්වී ඇත. එහෙත් ඒ මූලයන් අද අප අධ්‍යයනය කරනුයේ ජනශ්‍රැති ලෙස ය.
මෙහිදී සාහිත්‍ය ක්ෂේත්‍රය වෙත අවධානය යොමු කළහොත්, විශේෂයෙන් පද්‍ය සාහිත්‍යය ඉහත සඳහන් කළ ගායනය හා සෘජු ලෙසට බැඳී පවතින බැවින් එහි මූල බීජය ගායනයේ සම්භවය සමඟ ද බැඳෙනු ඇත. විදග්ධ සාහිත්‍යයක් වන භාරතීයයන්ගේ සන්දේශ සාහිත්‍යය ගතහොත් එය ප්‍රාථමික යුගයේ මිනිසා සහ සතුන් අතර පැවති ගනුදෙනුවක් සිහි ගන්වනවා ඇත.
විවිධ සතුන් අතර පණිවිඩ යැවීමේ කලාවක් අතීතයේ තිබු බවට ජනශ්‍රැතියේ එන විවිධ කතා පුවත් පමණක් නොව ඒ ආභාසයෙන් බිහිවූ භාරතීය විදග්ධ සාහිත්‍යය ද සාක්ෂ දරයි. එහිදී අප විදග්ධ සාහිත්‍ය ලෙස අසමාන ගෞරවයෙන් සලකන ජාතක කතා ද ඇතුළු ව පංචතන්ත්‍රය, කතාසරිත් සාගරය ආදිය ද ජනශ්‍රැති කතා පාදක කරගෙන බිහි වූ බව සිහි තබාගත යුතුය. කෙසේ නමුදු උක්ත කාරණය සම්බන්ධයෙන් උම්මග්ග ජාතකයේ එන ගිරා පෝතකයාගේ දූත මෙහෙවර අමතක කළ නොහැකි ය.
තව ද සෘග්වේදයේ දසවැනි මණ්ඩලයේ එන සරමා නමැති බැල්ලකගේ දූත මෙහෙවරකි. නලෝපාඛ්‍යානයේ නල සහ දමයන්ති අතර පෙම් පණිවිඩ ගෙනයන හංසයා ය. මෙකී නිර්මාණකරණයේ පරිණාමය අනුව පරිකල්පනය තව තවත් තීව්‍ර වීමෙන් එකී පණිවිඩ ස්වාභාවික වස්තු අත යැවීමක් ද භාරතීය සාහිත්‍යයේ නිර්මාණය වී ඇත. කාලිදාසයන්ගේ මේඝ දූතය ඊට කදිම සාක්ෂයකි.
සිරිලක සීගිරි ගීයක;
“මන්දිමි හිමිවලා තො ගොසින් ඇය නිවෙස්නට
පිරිබුන් පගා මලසුන දිවොට තො හදනව“
ලෙසින් වලාකුළු නම් හිමියන්ට වැඳ නමස්කාර කර, ඇගේ නිවසට ගොස් ලිහිල් වූ දිරියෙන් මැල වී ගිය තොල් හා දිව ඇති ඇයට විශ්වාසය දැඩි කොට සිටින්නැයි පණිවිඩ යවන පෙම්වතකු පිළිබඳ තොරතුරු ලැබේ. මෑත කාලීන ව වුවද
“හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්
අද නො පැමිණ අන් දිනයක - වැසි රැගෙන එන ලෙසින්”


යනුවෙන් හසඟනක වන් සිය පෙම්වතිය සමඟ කලකට පසුව මුමුනමින් වීදි සැරිසරන දා වැසි වටවා මඩ ගොහොරු තනා බාධා නොකරන ලෙස වලාකුළකට සුළඟක් අත පණිවිඩ යවන නිර්මාණාත්මක පෙම්වතුන් ද දක්නට ඇත. මෙසේ සතුන් හා විවිධ වස්තුන් අත පණිවිඩ යැවීමේ නිර්මාණාත්මක කලාවකට මුල් වූ ජනශ්‍රැති තුළ සතුන් අත ගෙන යන සුබ පණිවිඩ මෙන් ම තවත් පසෙකින් ගරුඬ, කුකුල්, සුනඛ ආදි පිල්ලි මඟින් ගෙනයන භයංකර මරණ දඬුවම් ද ජනශ්‍රැතියේ තිබේ. ඒ ඇසුරින් ද විවිධ ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණකරණයන් සිදු කිරීමේ ප්‍රවණතාවක් වර්තමානයේ දක්නට ලැබේ.
ජනශ්‍රැති කලා කෘති බවට නිර්මාණාත්මක පරිණාමයන් වීම මෙන් ම ජනශ්‍රැති ඇසුරින් කරනුලබන නිර්මාණයන් ද වර්තමානයේ දක්නට ලැබේ. එමෙන් ම තවත් පසෙකින් ජනශ්‍රැති එකතු කිරීම හා අධ්‍යයනය කිරීමත් ඒවාට විවිධ අර්ථ නිරුක්ති ලබාදීමත් පර්යේෂණාත්මක වශයෙන් සිදුවන ආකාර දක්නට ලැබේ. එහිදී විශේෂයෙන් මෙරට ජනශ්‍රැති අධ්‍යයනය ආරම්භ කළ බටහිර ජාතින්ගේ ජනශ්‍රැති වර්ගීකරණය වෙසෙසින් ම අතික්‍රමණය කළ යුතුව පවතින බව හඟිමි. මක්නිසාද දේශීය වශයෙන් එකතු පෙහෙළි කරගන්නා ලද ජනශ්‍රැතින් දෙස බැලිය යුත්තේ දේශීය චින්තන ධාරාවන් ඔස්සේ වුවත් බටහිර ජාතින් අතින් එබන්දක් සිදුවී නැති නිසාය.
ඒ නිසාම ඔවුන් කතෘ අඥාත වූ පමණින් සියලු විදග්ධ කලා කෘතින් ද ජනශ්‍රැති සේ බහාලමින් ඒවා අවියත් කලාවන් යයි මැනීමකට ද ලක්කර ඇත. පැරණි උපදේශ කවි යශෝදරාවත, වෙස්සන්තර ජාතක කාව්‍ය ආදිය ද ඒ අතරට වැටුණි. තව ද මෙරට පැවති දියුණු මනෝ චිකිත්සක ක්‍රම, වෛද්‍ය ශාස්ත්‍ර, කෙම් ක්‍රම ආදිය ද මිථ්‍යා විශ්වාස ලෙස නම් කළහ. ගැමි ජනතාවගේ අවිහිංසක පිළිගැනීම්වලට ඒ අධ්‍යයනයන් මරු පහරක් විය.
කෙසේ වෙතත් බුදු දහම බුද්ධ භාෂිතයක් ලෙස පිළිගන්නා නිසාත්, එහි තිබෙන දාර්ශනික භාවය නිසාත්, ක්‍රි. පූ. 3 වැනි සියවසේදී ග්‍රන්ථාරූඪ වූ නිසාත් බටහිර ජාතින්ට සිය ජනශ්‍රැති අධ්‍යයනයන්ට බුදු දහම ඇතුළත් කර ගැනීමට නො හැකි විය. බුදු දහම වුව සියවස් ගණනාවක් තිස්සේ මුඛ පරම්පරාගතව පැවති බවට අපිදු පිළිගනිමු. මහැදුරු නන්දසේන රත්නපාලයන් පවසන පරිදි බුද්ධ ධර්මය ජනශ්‍රැතියක් නොවීමට හේතු හතරක් ඇත. එනම් ධර්මය මුඛ පරම්පරාවෙන් පැවත ආව ද ඒ සමඟම එය ආරක්ෂා කර ගැනීමට උපදෙස් හා පුහුණුවක් ලැබී තිබීම, එය ව්‍යාප්ත වීමට මාර්ග සලසා තිබීම, ඒ සඳහා අවශ්‍ය පැවිදි සමාජයක් සිටීම හා බුද්ධ ගෞරවය ඒ කරුණු හතරයි.
එහෙත් බටහිර ජාතින් ජනශ්‍රැති බඳුනට බහාලන පැරණි ශාන්තිකර්ම ආදි ජන ආගම්හි ද මීට සමාන ලක්ෂණ තිබෙන බව පැහැදිලි ය. පැරණි ශාන්තිකර්ම ආදි ජන ඇදහිලි මුඛ පරම්පරාගත වුවත් ඒ සඳහා එය ආරක්ෂා කිරීමට උපදෙස් ආචාරධර්ම හා පුහුණුවක් ද එහි ම දක්නට ලැබේ. විශේෂයෙන් ගායන වාදන නර්තන සැරසිලි ආදිය සඳහා පුහුණුවක් මෙන් ම ඒවා ඉදිරියට ගෙන යාමට උචිත ඇදුරන් තෝරා ගැනීමට උපදෙස් මාලාවක් ද එහි දක්නට ඇත.

“අතපය බරවා කොර බිහිරෝ ඇති
දත සුදු සෝ ගඳ දද ඈ ලෙඩ ඇති
ඇස් කිත් කෙළ තොලු බොල්ලෑ දත් ඇති
බලි ඇරුමට මේ ඇදුරෝ නොගනිති”


තව ද එය මුඛ පරම්පරාවෙන් හා පුස්කොළ පොත් මඟින් ද ව්‍යාප්තියට පත් වේ. බුදු දහමේ පැවිදි සමාජයක් සේ පාරම්පරික ඇදුරු සමාජයක් ද ජන සමාජගතව අද වුව වෙසේ. එමෙන් ම බුද්ධ භක්තිය මෙන් ම අදත් බොහෝ ජනයා අතර දේව භක්තිය ද ප්‍රබල ව තිබේ. ඒ මිනුම් දඬු අනුව බුදු දහමේත් ජන ආගමේත් එතරම් වෙනසක් දක්නට නැත. එහෙත් බුද්ධිගෝචර බුද්ධ දර්ශනයට අනුව ජන ආගම පදනම් විරහිත මිථ්‍යාවක් බව ද අමතක නො කරමු.
ගැටලුව ඇත්තේ එහි නොවේ. සිංහල ජනශ්‍රැතියේ එන ජන ආගමෙහි මූලික ලක්ෂණය ලෙස අප දකින මුඛ පරම්පරාගත දේවත්වයත්, ඒ දේවත්වය අබියස කරන ඉල්ලීම් හා ඒවා ඉටුවේ ය යන විශ්වාසයත් ආදි බුදු දහම මිථ්‍යාව යයි පවසන ලක්ෂණ කිතු දහමේත් හින්දු දහමේත් ඉස්ලාම් දහමේත් තිබිය දී ඒවා බටහිර ජාතින් ජනශ්‍රැති බඳුනේ නො තබා සිටීමය. බුදු දහම ජනශ්‍රැතියක් නොවන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව මීට වඩා පුළුල් ව සාකච්ඡා කළ යුතු කරුණකි.
මහැදුරු නන්දසේන රත්නපාලයන් පවසන පරිදි ජනශ්‍රැතිය වන්නේ මුඛ්‍ය පරම්පරාගත ව කාලයක් තිස්සේ පැවත එන සාමූහික දැන නුවණ යි. එහිදී එකී දැන නුවණ නිර්මාණය වූයේ කුමන ප්‍රත්‍යක්ෂයකින් ද යන්න පිළිබඳ ව සලකා බැලිය යුතුව ඇත. වෙසෙසින් ම සාහිත්‍ය මූලාශ්‍ර සේ ගැනෙන ජනශ්‍රැති මෙන් ම පෙරදිග විද්‍යාත්මක මූලාශ්‍ර සේ ගැනෙන ජනශ්‍රැති ද බහුතරයක් පංච ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් ඔබ්බට ගිය මනස නම් සය වැනි ඉන්ද්‍රියේ ප්‍රත්‍යක්ෂයෙන් ලබාගත් දැනනුවණම ය. එය බටහිර දැන නුවණ මෙන් හුදු තර්කයට පමණක් හසුවන්නක් නොවේ. විශේෂයෙන් බටහිර විද්‍යාත්මක හා තාර්කික සත්‍යයන් වුව ද ප්‍රත්‍යක්ෂ කරගත යුත්තේ පංච ඉන්ද්‍රියන්ට ය.
උදාහරණ ලෙස එකයි එකයි දෙකයි යන්න ඔප්පු කරන්නේ යම් වස්තු දෙකක් ඇස වෙත විද්‍යමාන කිරීමෙන්. පසුව ඒ ආශි‍්‍රත ව මනේන්ද්‍රියෙන් ගොඩනඟාගන්නා තර්කනයෙන් එවන් සත්‍යයන් පසක් කරගැනීම සිදු වේ. මෙසේ ඔවුන්ගේ දැන නුවණ එකතු කරගැනීම උදෙසා මනසේ දායකත්වය ලැබෙනුයේ අතුරු උපකරණයක් ලෙසිනි. එහෙත් පෙරදිග ඊට ඉඳුරාම වෙනස් ලෙස වාක් කෝෂයකට ලඝු කළ නොහැකි ලෙස මනස මඟින් උත්පාදනය කරගන්නා දැනුම් සම්භාරයක ප්‍රයෝජන අත් විඳින්නේය. කෙම් ක්‍රම වෙදකම් ආදිය පමණක් නොව ඇතැම් සාහිත්‍යය කලාවන් ද මනසේ උපදවාගත් දැනුමේ ප්‍රතිඵලයන් ය.
බටහිර ජාතින් මේ දැනුම් සම්භාරයක් වර්ගීකරණයේ දී තමන්ට හුරු පුරුදු ප්‍රත්‍යක්ෂයන් වන පංචේන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය අනුව මේවා මැනීමට යාම නිසා විශාල ගැටලු උද්ගත වී ඇත. ඒ නිසා ජනශ්‍රැතියේ ස්ව ලක්ෂණ හඳුනා ගැනීම බොහෝ වටින්නේ ය.
එහෙත් වර්තමානයේ ද ඉහත මග ගනිමින් පංචේන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය පමණක් මූලික කරගනිමින් විවිධ මානයන් සිදු කරන්නෝ විරල නොවෙති. ඔවුහු මනසේ ප්‍රත්‍යක්ෂ හා මනසේ උපදින දැන නුවණට වඩා පංචේන්ද්‍රියට ප්‍රත්‍යක්ෂ දැන නුවණ වටින්නේ යැයි සිතන්නෝ ය. එහිදී මතක තබාගත යුතු කරුණකි. ඇතැම් තිරිසනුන්ගේ පංචේන්ද්‍රිය තීක්ෂණය අපට වඩා වැඩි ය. පංචේන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය මනේන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට වඩා වටින්නේ නම් සහ විශ්වාස කටයුතු නම් තිරස්චීනයන් මීට වඩා උසස් තැනක තැබිය යුතුය.

................................................................................................................................................................

මානව හිතවාදී දාර්ශනිකයා ඊ.ඩබ්ලිව්. අදිකාරම්

 

අපේ මහත්තයෝ - මහත්තයෝ - කාරෙකම විනාශයි. විනාශයි”
මෙහෙකාර කොලුවා බෙරිහන් දෙමින් ගරාජයෙන් එළියට පැන නිවසේ බරාඳයට දිවැවිත් නතර වූයේ ය. සුදු ජාතික ඇඳුමකින් සැරසී ගමනකට සූදානමින් උතුරු සළුව ද කර මත දමාගත් සිහින් කෙසඟ සිරුරකට හිමිකම් කී තැන්පත් ඉරියව්වෙන් පසු වූ ‘මහත්මයා’ කොලුවා දෙස සන්සුන් ව බැලුවේ ය.
“මොකද දරුවෝ මේ කෑ ගහන්නේ?” එතුමා සන්සුන් ස්වරයෙන් ඇසුවේ ය.
ගරාජයේ නවතා තිබූ පැරණි කාලයේ මෝටර් රථයේ පිටුපස අසුන අස්සේ මීයෝ ලැඟුම් ගෙන ඇත. පැටවු ද දමා ඇත. ආසනයේ හරි අඩක් ද කීතු කීතු කොට කා දමා ඇත. මීයෝ රිය අයිතිකර ගෙන බඳු ය. කොලුවා කලබලයෙන් කීවේ ඒ ටික ය.
“ඒකට කමක් නැහැ. උඹ හෙම උන්ට මුකුත් ම කරන්ට එපා. උන් පුළුවන් දවසක යාවි. එතකම් ඔහෙ හිටපු දෙන් මම බස් එකේ යන්නම්” එතුමාගේ කතාවෙන් උඩ බිම බැලූ කොලුවා මහත්තයාගේ හොඳ දන්නා නිසා ම කිසිත් නොදොඩා කරබා ගත්තේ ය.
නිවුණු ළතෙත් ගුණයෙන් පිරිපුන් ඔහු අපූර්ව සංවේදී මිනිසෙකි. කුඩා වියෙහි පටන් මස් මාළු අනුභවයෙන් ද තොර සොබාදහමට ද පරිසරයට ද දැඩි සේ ඇලුම් කළ හේ ගහකොළ පැළෑටියට පමණක් නොව ඇසට යන්තමින් පෙනී යන කෘමීන්ට පවා ආදරය කළේ ය. ඔහු ගේ අවිහිංසන පිළිවෙත කොතෙක් ද යත් උණු දිය බිම හෙලුවේ ද ඇල් වූ පසු ව ය. බුද්ධ වචනය ප්‍රකාර පිළිවෙතින් සුසැදි එතුමා පරිභෝග භෞතික වස්තූන් කෙරෙහි තෘෂ්ණාවෙන් නොඇලුණේ ය. කිසිවකට ඇලුම් කොට ඇඳ බැඳ තබා නොගත්තේ ය. මහා දාර්ශනිකයකු චින්තකයකු පඬිවරයකු වූ මෑත යුගයේ පහළ වූ මේ අසහාය ආධ්‍යාත්මික චින්තකයා ඊ.ඩබ්ලිව්. අදිකාරම් නමැති සොඳුරු අව්‍යාජ මිනිසා ය. නො එසේ නම් ජලයත් සුළඟත් නොමිළේ මිනිසාට ලැබෙන්නේ යම් සේ ද එලෙස ම අධ්‍යාපනය ද නොමිළේ ලැබිය යුතු යැයි තර්කයට බඳුන් කළ විද්වතා ය.
1905 වසරේ මාර්තු මස 29 වන දින සරනේලිස් සහ සිසිලියානා යුවළට පුත් කුමරකු ලැබිණි. පුතුට දොන් එඩ්වඩ් විනිප්‍රඩ් බ්‍රිටෝ අදිකාරම් යනුවෙන් නම් තැබිණ. සුරතලයට ඇමතුවේ ‘විනී’ යන නමිනි. විනීට නැගණියක් ද හිමි විය. ඈ මෝඩ් මිලී වූවා ය. මේ වනවිට දෙහිවල පදිංචි වී සිටිය ද ‘විනී’ පුතුගේ මවගේ උපන් ගම වැල්ලම්පිටියේ වෙන්නවත්තේ ය. විනී කුඩා කල දීම පියා හදිසියේ මිය ගියේ ය.
විනී ගේ මවු සිය සැමියාගේ අකල් වියෝවෙන් පසු දරුවන් ද කැටුව තම ගම් පියසට පැමිණියේ දෙහිවල ශාන්ත මේරි විදුහලේ විනී ඉගෙනුම ලබමින් සිටියදී ය. එය පල්ලියේ ඉස්කෝලයකි. පසුව වැල්ලම්පිටියට පැමිණීමෙන් බොරැල්ල, වෙස්ලි විදුහලට ‘විනී’ ඇතුළත් කෙරිණි. එහි දීප්තිමත් ශිෂ්‍යයකු ලෙසින් ඉගෙනුම කරන විනී වෙස්ලි විදුහලට නිවසේ සිට යන්නේ එන්නේ පා ගමණිනි. කි.මී. 7 ක පමණ දුරක් පයින් ම පාසලට යන්නට ඔහුට සිදුවූයේ බස් ගාස්තුව පවා නැති බැවිනි.
ඒ වනවිට ගමට නුදුරු කලවිටිගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ දහම් පාසලට ද ගිය ‘විනී’ පාසලට වඩා වැඩියෙන් ඇලුම් කළේ දහම් පාසලට ය. ඔහුගේ දිවි මඟ ඔපවත් කරන්නට එහි සද්ධානන්ද හිමියන් ගේ සමීපතම ඇසුර ඉවහල් වූ බව ද පැවසෙයි.
පා ගමනින් පාසලට යන ‘විනී’ දහවල කුසගින්නේ ය. වතුර බී කුස පුරවා ගත්ත ද පන්තියේ දක්ෂතම සිසුවා ඔහු ය. ඉතාමත් කෙසඟ සිරුරකින් හෙබි විනී නිතර නිතර අසනීපයෙන් පෙළෙන්නට විය. එහෙත් ඒ සියල්ල යටපත් කර ගනිමින් ඔහු ඉගෙනුමට මුල් තැන දුණි.
දහම් පාසලේ අවසාන ශ්‍රේණියේ විභාග ප්‍රශ්න පත්‍ර බැලීමට වැඩම කළේ අග්ග මහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ ය. උන් වහන්සේ ‘විනී ගේ ප්‍රශ්න පත්‍රය ද බැලූහ. සැකයක් මතුවිණි. ඒ මේ කොලුවා පොතක් බලාගෙන පිළිතුරු ලියා ඇති බවට ඇති වූ සැකයකි. මේ පිළිබඳ ව සැක හැර දැන ගැනීමට තීරණය කළ හිමියෝ ‘විනී’ පසෙකට කැඳවා ගත්තේ ය.
“මං මේ අහන අභිධර්මයේ එන ප්‍රශ්න වලටත් හරි උත්තර දුන්නොත් තමා හොඳ” පැවසූ උන් වහන්සේ අභිධර්මයේ ගැඹුරු තැන් අළලා පිළිවිසී ය. ‘විනී’ සන්සුන් ව ඇසූ සියලු පැනයනට පිළිතුරු දුනි. සැකය දුරු කරගත් හිමියෝ ‘බොහොම හොඳා’ යැයි විනී ගේ හිස අත ගෑවේ ය.
ක්‍රේම්බිජ් කනිෂ්ඨ විභාගය සමත් වූ විනී නොහොත් ඊ.ඩබ්ලිව්. අදිකාරම් කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ පන්තියට ද ඇතුළත් වූයේ ය. එහිදී එස්.ජේ.වී. චෙල්වනායගම් නම් අපූර්වතම ගුරුපියකුගේ ඇසුරට ඔහු පාත්‍ර විණි. ඔහුගේ ගුරු හරුකම් අවවාද උපදේශ විනී ගේ යහපතටම හේතු විය.
ඔහු 1926 වසරේ දී ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියට (බී.ඒ.) පෙනී සිටීමෙන් අනතුරුව ප්‍රතිඵල බලා සිටියේ ය. ඒ අතරේ දී විනීට හමු වූයේ ජේ.වී.සී. චන්ද්‍රසේකර මහතා ය. හේ යුනිවර්සිටි කොලීජියේ රසායන විද්‍යා අංශයේ ප්‍රධාන ආචාර්යවරයා ය. ඔහු දුන් ලිපියක් ද රැගෙන මේ තරුණයා කොළඹ නාලන්දා විදුහලට ගොස් එහි විදුහල්පතිවරයා හමුවූයේ ය. ඒ උප ගුරු පත්වීමක් ලැබ ගන්නට ය. නොහික්මුණු විදුහල්පතිවරයා විනී ට සරදම් ස්වරයෙන් අමතමින් කතා කරන්නට වූයේ ය. ‘බී.ඒ. කියන්නෙත් උපාධියක් ද? තමුන්ට පන්තියක් පාලනය කරන්ට පුළුවන් ද? කරුණාකරල ඔය තියෙන රජයේ ලිපිකාරකමකට ඉල්ලුම් කරන්ඩ” යි හෙතෙම කියා සිටියදී ආපසු හැරී පැමිණි විනී තිර අදිටනකට එමොහොතේදී ම පිවිසියේ ය. එනම් දර්ශනපති (පී.එච්.ඩී.) උපාධිය ලබා ගැනීමේ අදිටනයි.
අනතුරුව ‘ලක්දිව පුරාතන බෞද්ධ ඉතිහාසය’ නමින් ග්‍රන්ථයක් ඉදිරිපත් කරමින් දර්ශනපති උපාධිය ලබා ලන්ඩන් විශ්වවිද්‍යාලය බලා පිටත් ව ගියේ ය. ඒ 1933 වසරේ දී ය. ඒ වසර අග දී පෙරළා පැමිණි එතුමා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ අධිපති ධූරයට පත් වූයේ ය. 1939 වකවානුවේ ලෝක මහා සංග්‍රාමයේ දී ආනන්ද ශාස්ත්‍රාලය ද හමුදාවේ ප්‍රයෝජනයට ගැනීමෙන් පාසලට අනර්ථයක් සිදුවිණි.
ඒ හේතු කොට ගෙන බෞද්ධ පසුබිම යටතේ මහරගම විද්‍යාකර, නුගේගොඩ අනුලා පාසල් ඇරඹූ අතර මතුගම ආනන්ද ශාස්ත්‍රාලය, කරවනැල්ල මහා විදුහල, බත්තරමුල්ලේ මහා විදුහල, උඩහමුල්ල මහා විදුහල, මහාමායා මහා විදුහල ආරම්භ කෙරිණි. ඔහු වැටුපෙන් රුපියල් දහය බැඟින් ඉතිරි කොටගත් මුදලින් නුගේගොඩ අනුලා විදුහල ඇරඹීම ඉතිහාසයට ද එක් වී තිබේ. දරු පරපුර උදෙසා නැණැස පෑදීමට පාසල් රැසක් ආරම්භ කළ ඊ.ඩබ්ලිව්. අදිකාරම් තුමන්ගේ නාමය අනුස්මරණීය ය.
යම් යම් සිත් බිඳී යන කාරණා හේතුවෙන් තමන් සතු සියලු දෑ හිත මිතුරනට පවරා දුන් අදිකාරම් තුමන් හදිසියේ ඉන්දියාවට ගියේ ය. එහෙත් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඔහුගේ අඩුව තදින් දැනිණි. නැවත කැඳවූ ඔහු පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ පාඨශාලා සාමාන්‍යාධිකාරි පදවියෙන් පිදීය. තමන් සිදුකළ සේවයෙන් විශ්‍රාම ගත්ත ද විශ්‍රාම වැටුප ප්‍රතික්ෂේප කළ එතුමා පරම විඥානාර්ථයෙන් ද ඉවත් ව අවිහිංසාව පෙර දැරි වූ තම චින්තනය ඉවහල් කර ගනිමින් දරුවන් හා තරුණයන් යහමඟට ගැන්මේ සමාජ සත්කාරයේ නියැළෙන්නට වූයේ ය. ඔහු මහා චින්තකයකු සේ ම දාර්ශනිකයකු වූ ජේ. ක්‍රිෂ්ණමූර්තිතුමාගේ දේශනාවෙන් තම දිවිය ප්‍රභාස්වර කර ගත්තේ ය. සෑම වසරක් අගදී ඒ දේශනාවට සහභාගි වීම හේ අත්‍යවශයෙන් කළේ ය.
පාලි භාෂාව පිළිබඳ විසල් දැනුමකින් යුතු එතුමා සංස්කෘත, ජර්මන්, ඉංග්‍රීසි භාෂා පිළිබඳ ප්‍රවීණයකු විය. පාලි ග්‍රන්ථ අතුරින් වඩාත් ප්‍රිය කළේ ඛුද්දක නිකායේ සූත්‍ර නිපාතයට හා ධම්මපදයට ය.
ඔහුගේ තේමා පාඨය වූයේ තමා සම්මතයෙහි පිහිටා අන් අයට උපදෙස් දිය යුතුය යන්න ය. විද්‍යාව පිළිබඳව ද හසළ දැනුමින් පිරිපුන් ඔහු සිංහලයෙන් විද්‍යාව ඉගැන්විය හැකි බව කී අය අතර පුරෝගාමියා වන්නේ ය. ඒ සඳහා 6 වැන්නේ සිට ජ්‍යෙෂ්ඨය දක්වා සාමාන්‍ය විද්‍යා පොත් පෙළක් සම්පාදනය කළේ ය. ඊට අමතරව විද්‍යාවේ පාරිභාෂික වචන මාලාව සකස් කළේ ය.
සාමාන්‍ය ජනතාවට හා සිසු කැළට විද්‍යා අධ්‍යාපනය ලබාදීමට කැප වූ එතුමා පුවත්පත්වලට තීරු ලිපි ලියුවේ ය. එම්.ඩී. ගුණසේන සහ සමාගමේ සංස්කාරකත්වයෙන් නවීන විද්‍යා මාසික සඟරා පෙළක් ද එළි දැක්වූයේ ය. ගුවන් විදුලි සාකච්ඡා, එස්.ජේ. ද වීරසිංහ දේවගැතිතුමා මෙහෙයවූ බුද්ධි මණ්ඩල සාකච්ඡා සඳහා ලබාදුන් දායකත්වය සුවිශේෂී කොට සැලකේ. විවිධ ප්‍රදේශවල යමින් එතුමා කරන ලද දෙසුම් හි සාරාංශය රැගත් ලිපි ඇතුළත් සිතිවිලි නමැති පොත් මාලාව ජනයා අතර වඩාත් ප්‍රචලිත වූයේ ය.
“සමාවෙන්ඩ මහත්මයා, මේ සභාවට පැමිණි ඔබතුමා වියත් දෙසුමකින් අපව දැනුවත් කළා. එහෙත් සභාව ආරම්භයේදී පන්සිල් සමාදන් වීමේ දී ඔබතුමා පන්සිල් නො ගෙන සිටියා.” දිනක් දෙසුමකට සහභාගි වීමට ගිය අදිකාරම්තුමන්ගෙන් සභාවේ තරුණයකු එසේ විමසුවේ ය. වියතාණෝ සන්සුන් ලීලාවෙන් මෙසේ පිළිතුරු දුන්නේ ය.
“ඔව් - ඒක ඇත්ත - මං එක් වරක් පන්සිල් සමාදන් ව තිබෙනවා. මා ආයෙත් සමාදන් විය යුතු නැහැ. මන්ද - මා පන්සිල් රකින අයකු නිසා.”
සත්‍ය හෙවත් සැබෑ දේ කුමක්ද කියා දැකීමත් ඒ දැකීමෙන් ඇතිවන විලෝපයෙන් මෛත්‍රිය පහළවීමත් සිදුවන බව පැවසූ මේ චින්තකයාණෝ තම දේශන හා ලේඛනවලින් ඒ සත්‍ය පාඨකයාට විමසා බලන්නට ආරාධනය කළේ ය. බොහෝ දෙනා සිතන ආකාරයට නොසිතූ ඔහු බුදුදහමේ ආභාසයෙන් හා සොබාදහමේ නිරීක්ෂණයෙන් තම චින්තනයේ ස්වාධීන, නිර්භය හා නිරවුල් බව පෙන්වාදීමට වෙහෙසුණේ ය. මහා දැනුමකින් යුතු අදිකාරම්තුමා නොදන්නා දේ විශ්වාස කිරීමට හෝ ඒ පිළිබඳ කතා කිරීමට මැලිවිය. නොදන්නා දේ නොදන්නා බව කීවේ ය. බොහෝ විට ඔහුගේ ප්‍රකාශ මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර උසස් ගුණ වැයුම් ද තියුණු අපහාස සරදම් ද ඔහුට හිඟ නොවීය.
අදිකාරම්තුමන් දුක සැප හමුවේ හඬා වැටුණේ නැත. ඒ ඔහුට චින්ත චෛතසික සම වැදීමක් තිබූ නිසා බව කියැවේ. දිවියේ ඉහළම සතුට හෝ දාර්ශනික හරයන් අදිකාරම් තුමා විඳගත්තේ මැදහත් සිතින් යැයි ද පැවැසේ. සියල්ල මැදිහත් සිතින් එකසේ පිළිගත් එතුමා එක් දිනෙක ඉකි බිඳ බිඳ හැඬුවේලු. ඒ මරණයක් වෙනුවෙනි. දාර්ශනිකයකු වූ පසුව ද මුල් වරට එතුමා හඬා වැලපුණේ 1973 ජනවාරි මස 7 වනදා ය. ඒ ඊරියගොල්ල සූරීන් මළදා ය. එතුමා සමඟ සමීපයේ පසුවූ ඩඩ්ලි ද හැඬුවේ ය. තමන්ගේ විශිෂ්ටතම දේශපාලනඥයා මිය යාමේ ශෝකයෙන් ඩඩ්ලි හැඬුවේ ය. එහෙත්, අදිකාරම්තුමා ඉකි බිඳීමින් හඬන්නට වූයේ තම සිත්හි ලැඟුම් ගෙන සිටි කෘතහස්ත, අවංකම බුද්ධිමතා වියෝ වීම නිසා ය.
1922 වසරේදී කොළඹ යුනිවර්සිටි කොලීජියට පැමිණෙමින් 1930 දී ශිෂ්‍යත්වයකින් ලන්ඩනයට පිවිසෙමින් 1931 දී ශාස්ත්‍රපති (එම්.ඒ) උපාධිය ද 1934 දී දර්ශනපති (පී.එච්.ඩී) උපාධිය ද සමත් වෙමින් ආචාර්ය එන්.එම්. පෙරේරා, රොබට් ගුණවර්ධන, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ ආදීන්ගේ ඇසුර ද ලැබුවේ ය. ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමට මුල පිරීමක් ලෙසින් එන්.එම්. සමඟ කතිකාවක් එංගලන්තයේ දී ආරම්භ කළේ ය. බෞද්ධ අධ්‍යාපනයට මහත් සේ කැප වූ එතුමා 1966 - 1970 දී ජාතික අධ්‍යාපන සභාවේ සාමාජිකත්වය ද හෙබවූයේ ය.
1976 - 1983 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපතිධූරය ද හෙබ වූ එතුමා බුදුදහමට අනුගත චර්යාව ජනයා අතර රඳවා තබන්නට දිවා රෑ වෙහෙසී කැපවී ක්‍රියා කළේ ය. දැඩි සේ ඇලුම් කළ ජේ. ක්‍රිෂ්ණමූර්ති තුමා ගේ දෙසුමට සහභාගි වන්නට සූදානමින් පෙරදා එනම් 1985 වසරේ දෙසැම්බර් මස 28 දා නිදි යහනටවන් එතුමා නැවත මෙලොව එළිය නොදුටුවේ ය. සිතේ පැවැති සුපසන් බවින් යුතුව ම එතුමෝ දැයෙන් සමුගත්හ.



වතගොත



නම - දොන් එඩ්වඩ් විනිප්‍රඩ් බ්‍රිටෝ අදිකාරම්
භාවිතා වූ නම - ඊ.ඩබ්ලිව්. අදිකාරම්
උපන්නේ - 1905 මාර්තු මස 29 දින
මවුපියන් - සර්නේලිස් සහ සිසිලියානා දෙපළ
සහෝදරිය - මෝඩ් මිලී නැගණිය
සේවාවන් - බුදුදහම පිළිබඳ වියත් දෙසුමින් ද උසස් චින්තනයකට ඇවැසි සිතිවිලි ද අවබෝධ කර වීමට වෙහෙස විය.
පාසල් රැසක් ආරම්භ කිරීමට පුරෝගාමී වීම ආදි සේවාවන් රැසක් සිදු කළේ ය.
- අවිවාහක ය.
විපත - 1985 දෙසැම්බර් මස 28 දා.
............................................................................................................................................................

මරණය හා මරණින් මතු ජීවිතය විවිධ ආගමික අදහස් විමසා බැලීමක්



අපාගතවීම සම්බන්ධයෙන් යුදෙව්වන් තුළ පවතින්නේ පරස්පර විරෝධී අදහසකි. අතැම් තැනක දක්වන පරිදි අපාගත වන්නේ සදාකාලිකව එහිම සිටිති. එහෙත් තවත් අවස්ථාවකදී කාලයක් ගතවීමෙන් අනතුරුව දෙවියන් වහන්සේගේ අනුකම්පාව ලබා නිරාගත ජීවිතයෙන් අත්මිදීමේ හැකියාව ලබති.
ක්‍රිස්තියානි ආගමික මතය අනුව භෞතික සිරුරත් ආත්මයත් යන දෙකේම සුසංයෝගයක් වශයෙන් මිනිසා පවතී. මරණය යනු ආත්මය භෞතික සිරුර අත්හැර දැමීම නිසා එය අක්‍රිය තත්ත්වයට පත්වීමයි. ස්වභාවික මරණයත් අවසාන විනිශ්චයත් අතර කාල පරාසය තුළ සිරුරෙන් වෙන්ව යන ආත්මය පුද්ගල විනිශ්චය හා විශ්වීය විනිශ්චය යන අවස්ථා දෙකට මුහුණ දෙයි. පුද්ගල විනිශ්චය යනු දෙවියන් වහන්සේ වෙතින් ඒ ඒ පුද්ගලයා ලබන පෞද්ගලික විනිශ්චයයි. විශ්වීය විනිශ්චය යනු ස්වර්ගය හා නිරය ඇතුළුව සියලු දෙනා වෙත පොදුවේ ලබාදෙන විනිශ්චයයි. පුද්ගල විනිශ්චයේදී තුන් ආකාරයකට එය වර්ග කරනු ලබයි.
1.දෙවියන් වහන්සේතේ අන්‍ය සත්වයනුත් වෙත ආදරයෙන් මියගිය තැනැත්තාගේ ආත්මය කිලිටි වී නැති බැවින් ඍජුවම සවර්ගය කරා කැඳවා ගනී.
2. පාපී ජීවිත ගතකළවුන් ඍජුවම අපාගත වේ.
3. පව්කමින් පළමුව ජීවත් වී කරුණු අවබෝධකර ගැනීමෙන් පසුව පශ්චාත්තාප වූ අය ස්වර්ගයට යෑමට පළමුව දුක්විඳිය යුතු ස්ථානයක ඉපදී අනතුරුව ස්වර්ගස්ථ වෙති.
යෙසුස් වහන්සේගේ ඉගැන්වීමට අනුව ජීවත් වූවන් ස්වර්ගයටත් අනෙක් අය නිරයටත් පමුණුවන බව එහි සඳහන් වේ. නිරය යනු සදාකාලික දණ්ඩනයේ ස්ථානයක් වන අතර ස්වර්ගය යනු දෙවියන් වහන්සේ සමඟ සමගාමී වීමකි.
ඉස්ලාම් මතය අනුව මිනිසාගේ ජීවිතය භෞතික සිරුරේ විනාශයෙන් කෙළවර වී ආත්මීය කොටස අල්ලාහ් ගේ අවසාන විනිශ්චය දිනය දක්වා පවතී. මරණයේ සිට අවසාන විනිශ්චය දක්වා කාලය ‘අල්බර්ෂාන් ‘ නමින් හැඳින්වෙන ස්ථානයේ පවතින බව සැලකේ. අවසාන විනිශ්චය දිනය දෙවියන් වහන්සේ විසින් තීරණය කරනු ලබන්නකි. මෙම දිනයට කලින් සියල්ලෝම මරණයෙන් උත්තානය වෙති. සියලු ආත්මයෝ මරණයෙන් උත්තානය වූ භෞතික සිරුරු සමඟම දේව දූතයන්ගේ මඟ පෙන්වීමෙන්, අල්ලාහ් අභිමුඛයට යති. සියලු ආත්මයන් කෙරෙහි දෙවියන්ගේ අවසන් විනිශ්චය ලැබෙන අතර, අනතුරුව ඒ සියල්ලන් ම ‘අල්ෂිරාන් ‘නම් වූ පාලම අසලට පැමිණේ. එහිදී පාපීන් එතෙර වන විට පාලම අසිපත් තුඩක් තරමට සිහින් වී ඔවුන් නිරයට හෙළන අතර අල්ලාහ්ට අනුකූල වූවන් එතෙර වන විට එය පුළුල් වී ස්වර්ගය කරා ගමන් කිරීමට හැකියාව ලැබේ. එහිදී සිදුවන වැදගත් දෙයක් නම් තම භෞතික සිරුර පසෙක දමා ආධ්‍යාත්මික සිරුරුවලින් යුක්තව දෙවියන් වහන්සේ සහ දේවදූතයකු සමඟ සදා සංතෘප්තිකව ස්වර්ගයේ කොටස්කරුවකු බවට පත්වීමයි.
සරථුස්ත්‍ර ආගම තුළත් ඉදිරිපත් කර ඇති මරණින් මතු පැවැත්ම පිළිබඳ ඉගැන්වීම් කිතුනු හා ඉස්ලාම් මතයට සමාන වේ. සදාතනික ස්වර්ගය, නිරය හා අන්තරාභවය යනුවෙන් කොටස් තුනකින් මරණින් මතු පැවැත්ම ගැන ඔවුහු කතා කරති. එහිදී ‘වින්වන් පාලම’ නම් වු පාපින් හා ධාර්මිකයන් එතෙර කිරීමට උපකාරීවන ස්ථානයක් පිළිබඳ සඳහන් වේ. ඉස්ලාම් දහමෙන් මෙය වෙනස් වන්නේ මෙම පාලමෙන් එතෙර වීමේදී ‘වොහුමාන් ‘ නමැති දේවදූතයකුගේ උපකාරය ලැබෙන හෙයිනි. සරථුස්ත්‍ර ආගමට අනුව ද නිරාගත ජීවිතය සදාකාලික වුවක් නොවන අතර වසර දොළොස් දහසක් ගතවූ පසුව නිරාගත වූවකුට ස්වර්ගය කරා ගමන් කිරීමට හැකියාව ලැබේ.
මරණය සම්බන්ධයෙන් බෞද්ධ මතය මේ සියල්ලට ම වඩා වෙනස් වූවකි. පුද්ගලයාගෙ සිතෙහි අනුසය පවතී. (අනුසය යනු සිත තුළ යටපත්ව, සැඟව ඇති කුසලාකුසල බීජ සමූහයයි) තම තමා විසින් කරන ලද ක්‍රියාවේ බරපතළකම අනුව ඒවා සිත තුළ නිද්‍රෝපගතව පවතී. සිත නිතරම ක්‍රියාත්මකව පවතින්නකි. එය නවතා තැබීම දුෂ්කරය. එහි වේගය භෞතික රූප වෙනස්වීම් වේගයට වඩා දහහත් ගුණයකින් වැඩිය. සිතින් කරන කාර්යය දාහතරකි. මෙයින් පළමු වැන්න වන්නේ ප්‍රතිසන්ධි කෘත්‍යයයි. එනම්, මරණයෙන් ජීවිතය කෙළවර වන්නට ඉඩ නොදී නැවත උපතක් ඇති කිරීමයි. අවසන් කාර්යය නම් චුති කෘත්‍යයයි. එනම් එක් එක් භවය (ජීවිතය) කෙළවර කිරීමයි. මෙයින් උපත හා මරණය යන දෙකෙහි ස්වභාව පැහැදිලි කර තිබේ.
පුබ්බේනිවාසානුස්සති ඤාණය හා චුතූපපාත ඤාණය මගින්, මරණයට පත් වූ පුද්ගලයාගේ පෙර භවයන් හා පසු භවයන් පිළිබඳ අදහස දක්වා තිබේ. මරණය හා මරණයෙන් පසු තත්ත්ව පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමේදී මෙයද වැදගත් සාධකයකි.
දස සංයෝජන (දස සංයෝජන යනු පුද්ගලයාග් නිදහස් චින්තනයට බාධා පමුණුවන සිතේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපාන කෙලෙස් දහයකි) සිඳලූ අයගේ මරණයෙන් මතු තත්ත්වයට කුමක් වුයේද යන්න විග්‍රහකර වචනාර්ථයෙන් දැක්වීම අපහසුය. පහන් දැල්ල නිවී යෑමෙන් අනතුරුව එය ගිය දිසාව සෙවිය නොහැකිවාත් මෙන්ම එයද සෙවිය නොහැකිය. එසේ නොවූ අය කරන කුසල,අකුසල කර්ම අනුව උත්පත්තිය ලබන බව තේවිජ්ජ , දේවදූත, චුල්ලකම්ම, මහාවිභංග ආදි සූත්‍රවලදී පැහැදිලි කර ඇත.
අධර්ම චර්යා, විසම චර්යා හේතුවෙන් ඇතැම් සත්වයෝ දුගතියේ උපදිති. ධර්ම චර්යා, සම චර්යා හේතුවෙන් ඇතැම් පුද්ගලයෝ සුගතිගාමි වෙති(මජ්ඣිම නිකාය වේරඤ්ජ සූත්‍රය) මිනිස් කයක් දරමින් සිටියදී ම කෙනකු සුනඛ හැසිරීම් අනුව ජිවත් වන්නේද මරණින් මතු ඔහු සුනඛයින් අතර ඉපදීමට බොහෝ ඉඩකඩ ඇත. (මජ්ඣිම නිකාය කුක්කුරවතිය සූත්‍රය) යම් පුද්ගලයකු මෙත්තා, කරුණා,මුදිතා, උපෙක්ෂා ආදී බඹ විහරණ පුරුදු කරන්නන් ද ඔහු බ්‍රහ්මයන් අතර උපදී (තේවිජ්ජ සූත්‍රය) කුසල අකුසල කර්මවලට අනුරූපව විපාක ලැබේ. ඒ අනුව පුද්ගලයකු මරණයෙන් පසුව තමා සිදුකර ඇති කර්ම ශක්තීන් අනුව නිරය, තිරිසන් යෝනිය, පේ‍්‍රත ලෝකය , මනුෂ්‍ය ලෝකය හා දිව්‍යලෝකය ආදි වූ උප්පත්ති ස්ථානයන්හි උපත ලැබිය හැකිය.
................................................................................................................................................................
විවිධ විතර්කයන්ගෙන් සිත නිදහස් කිරීම...
මහණෙනි, බුදුවන්නට කලින්, බුදු නොවූ බෝධි සත්ව වූ, මට මේ අදහස ඇතිවිය. මම විතර්කයන් (කල්පනාවන්) දෙකොටසක් කොට බෙදා වාසය කරන්නෙම් නම් හොඳයි කියායි. මහණෙනි, ඒ මම යම් මේ කාම විතර්කයක් (කාමයන් පිළිබද කල්පනාවක්) වේද යම් ව්‍යාපාද විතර්කයක් (ක්‍රෝධ කලපනාවක්) වේද යම් විහිංසා විතර්කයක් (හිංසා කල්පනාවක්) වේද, මේ අකුසල කල්පනා එක් කොටසක් කෙළෙමි


එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරති. එකල්හි උන්වහන්සේ භික්‍ෂූන් අමතා තමන් වහන්සේ බෝසත් අවධියේ පුහුණු කළ විතර්කයන් (කල්පනාවන්) දෙකක් පිළිබඳ දේශනා කළහ. (ද්වෙධාවිතක්ක සූත්‍රය-මජ්ක්‍ධිම නිකාය) මෙම කල්පනාවන් තුළින් බෝසත් අවධියෙහි තම සිතෙහි ඇති වූ විවිධ විතර්කයන් මැඩ පැවැත් වූ අයුරු මනා ලෙස උපමානුසාරයෙන් මෙහි විස්තරව ඇත. මෙම කල්පනාවන් පුහුණු කිරීම තුළින් සිත සමාධියට මෙන්ම විදර්ශනාවට ද යොමුවන අයුරු මනා ලෙස මෙහි විස්තරව ඇත.පෙළ දහමට අනුව එම ක්‍රමවේදයන් විස්තරාත්මකව විමසා බලමු.

මහණෙනි, බුදුවන්නට කලින්, බුදු නොවූ බෝධි සත්ව වූ, මට මේ අදහස ඇතිවිය. මම විතර්කයන් (කල්පනාවන්) දෙකොටසක් කොට බෙදා වාසය කරන්නෙම් නම් හොඳයි කියායි. මහණෙනි, ඒ මම යම් මේ කාම විතර්කයක් (කාමයන් පිළිබද කල්පනාවක්) වේද යම් ව්‍යාපාද විතර්කයක් (ක්‍රෝධ කලපනාවක්) වේද යම් විහිංසා විතර්කයක් (හිංසා කල්පනාවක්) වේද, මේ අකුසල කල්පනා එක් කොටසක් කෙළෙමි.
යම් නෛෂ්ක්‍රම්‍ය (කාමයන්ගෙන් වෙන්වීමේ) කල්පනාවක් වේද, යම් අව්‍යාපාද (මෛත්‍රි සහගත) කල්පනාවක් වේද යම් අවිහිංසා (හිංසා නොකිරීමේ) කල්පනාවක් වේද මේ කුසල කල්පනා දෙවෙනි කොටස කෙළෙමි.
කාම කල්පනා
මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව වාසය කරන්නාවූ ඒ මට කාම කල්පනාවක් උපදියිද ඒ මම මෙසේ දනිමි. මට මේ කාම කල්පනාව උපන්නීය.
ඒ කාම කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතියි. අන්‍යයාහටද දුක් පිණිස පවතී.
දෙපක්‍ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්‍ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය.
මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නා වූ මගේ සිතේ උපන් කාම කල්පනාව විනාශයට යයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතියි කියා සලකන්නා වූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යයි. දෙපක්‍ෂයටම දුක් පිණිස පවතීයි සලකන්නා වූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යයි. ප්‍රඥාව වළකන්නීය, දුක් පක්‍ෂයෙහි සිටියාය, නිවන් පිණිස නොපවතින්නේයැයි සලකන්නා වූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යයි. මහණෙනි, ඒ මම උපන් කාම සහගත කල්පනාව දුරුකෙළෙමි . බැහැර කෙළෙමි. ඉතිරි නොකෙළෙමි.
ක්‍රෝධ කල්පනා
මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව වාසය කරන්නා වූ ඒ මට ක්‍රෝධ සහගත කල්පනාවක් පහළ වෙයිද, ඒ මම මෙසේ දනිමි. මට මේ ක්‍රෝධ සහගත කල්පනාව උපන්නීය. ඒ ක්‍රෝධ සහගත කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතී. අන්‍යයාහටද දුක් පිණිස පවතී. දෙපක්‍ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්‍ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය.
මහණෙනි, තමහට දුක් පිණිස පවතීයැයි කියා සලකන්නා වූ මගේ සිතේ උපන් ක්‍රෝධ සහගත කල්පනාව විනාශයට යයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයැයි කියා සලකන්නා වූ මා තුළ උපන් ක්‍රෝධ සහගත කල්පනාව විනාශයට යයි. දෙපක්‍ෂයටම දුක් පිණිස පවතීයැයි සලකන්නාවූ මා තුළ උපන් ක්‍රෝධ සහගත කල්පනාව විනාශයට යයි. ප්‍රඥාව වළකන්නේ, දුක් පක්‍ෂයෙහි පිහිටියේ යැයි නිවන් පිණිස නොපවතින්නේයැයි සලකන්නා වූ මා තුළ උපන් ක්‍රෝධ සහගත කල්පනාව විනාශයට යයි. මහණෙනි, ඒ මම උපන් ක්‍රෝධ සහගත කල්පනාව දුරු කෙළෙමි. බැහැර කෙළෙමි. ඉතිරි නොකෙළෙමි.
හිංසා කල්පනා
මහණෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්ය ඇතිව වාසය කරන්නා වූ ඒ මට හිංසා කිරීමේ කල්පනාව පහළ වෙයිද ඒ මම මෙසේ දනිමි. මට මේ හිංසා කිරීමේ කල්පනාව උපන්නීය. ඒ හිංසා කිරීමේ කල්පනාව වනාහි තමාහටද දුක් පිණිස පවතී. අන්‍යයාහටද දුක් පිණිස පවතී. දෙපක්‍ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්‍ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය.
මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නා වූ මගේ සිතේ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නා වූ මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යයි. දෙපක්‍ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නා වු මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි. ප්‍රඥාව වළකන්නීය, දුක් පක්‍ෂයෙහි සිටියාය, නිවන් පිණිස නොපවත්නේයැයි සලකන්නා වූ මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යයි. මහණෙනි, ඒ මම උපන් හිංසා කිරීමේ කල්පනාව දුරු කෙළෙමි. බැහැර කෙළෙමි. ඉතිරි නොකෙළෙමි.
කල්පනාව අනුව යන සිත
මහණෙනි, මහණතෙම යම් කල්පනාවක් බොහෝ කොට නැවත නැවත කල්පනා කරයිද, නැවත නැවත සිත්හි පවත්වයිද, ඒ ඒ පරිද්දෙන් හිතේ නැමීම වෙයි. මහණෙනි, ඉදින් මහණතෙම කාම විතර්කය බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත පවත්වයිද, කාමයන්ගෙන් වෙන්වීමේ කල්පනාව දුරු කෙළේද, කාම කල්පනා බහුල කෙළේද ඔහුගේ ඒ සිත කාම විතර්කය පිණිස නැමෙයි.
මහණෙනි, ඉදින් මහණතෙම ක්‍රෝධ කල්පනා බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි පවත්වයිද,ක්‍රෝධයෙන් වෙන්වීමේ කල්පනාව දුරු කළේද, ක්‍රෝධ කල්පනා බහුල කළේද, ඔහුගේ ඒ සිත ක්‍රෝධ කල්පනා පිණිස නැමෙයි.
මහණෙනි, ඉදින් හිංසා කිරීමේ කල්පනා බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි පවත්වයිද, විහිංසාවෙන් වෙන්වීමේ කල්පනාව දුරු කෙළේද, විහිංසා කල්පනා බහුල කෙළේද ඔහුගේ ඒ සිත විහිංසා කල්පනාව පිණිස නැමෙයි.

ගොපල්ලා හා ගවයන්
මහණෙනි, යම්සේ වැහි කාලයට අයත් අන්තිම මාසයෙහි සරත් කාලයෙහි ගොයමට යෑම වැළැක්විය යුතු කල්හි, ගොපලුතෙම ගවයන් පාලනය කෙරේද, හෙතෙම ඒ ගවයන්ට ඒ ඒ පැත්තෙන් කෙවිටෙන් පහර දෙන්නේය. නැවත නැවත පහර දෙන්නේය. ඔබ මොබ යා නොදී වළකන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ගොපලුතෙම ඒ ගවයන් හොඳින් බලා නොගැනීම හේතු කොටගෙන පැමිණිය හැකි හිංසා , පීඩාද, වධ බන්ධනද , ධන හානියද, නින්දා අපහාසද දකියි. මමද මහණෙනි, එසේම අකුශල ධර්මයන්ගේ දෝෂයද, ලාමක බවද, කෙලෙසීමද, කුශල ධර්මයන්ගේද, කාමයන්ගෙන් වෙන්වීමෙහි අනුසස්ද පිරිසුදු බවද දුටුවෙමි.
කාම විතර්කයෙන් වෙන්වීම සැපයකි
මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව ජීවිත පරිත්‍යාග කොට වාසය කරන්නා වූ ඒ මට කාමයන්ගෙන් නික්මීමේ කල්පනාව උපදීද, ඒ මම මෙසේ දනිමි. මට මේ කාමයන්ගෙන් වෙන්වීමේ කල්පනාව උපන්නේය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්‍ෂයටමද දුක් පිණිස නොවෙයි. ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව වඩයි. දුක් උපදවන පක්‍ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුළු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොමදකිමි. දවල් කාලය මුළුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොමදකිම්. රෑ දවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොම දකිමි.
එසේ වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නාවූ මාගේ ශරීරය ක්ලාන්ත වෙයි. ශරීරය ක්ලාන්ත වූ විට සිත නොසන්සුන් වෙයි. සිත නොසන්සුන්වූ කල්හි සමාධිය කෙරෙන් සිත ඈත් වෙයි. මහණෙනි, ඒ මම ඇතුළත්හිම සිත මනාව තබමි. හිඳුවමි. එකඟ කරමි. මනාව පිහිටුවමි. ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි සිතමි.
ක්‍රෝධ විතර්කයෙන් වෙන්වීම සැපයකි
මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව, කාය ජීවිත පරිත්‍යාග කොට වාසය කරන්නා වූ ඒ මට මෛත්‍රි සහගත කල්පනාව උපදියිද, ඒ මම මෙසේ දනිමි. මට මේ මෛත්‍රී සහගත කල්පනාව උපන්නීය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්‍ෂයටම දුක් පිණිසද නොවෙයි. ලෞකික ලෝකෝක්තර ප්‍රඥාව වඩයි. දුක් උපදවන පක්‍ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුළු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොමදකිමි. දවල් කාලය මුළුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොමදකිමි. රෑ දවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොමදකිමි.
එසේද වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නා වූ මාගේ ශරීරය ක්ලාන්ත වෙයි. ශරීරරය ක්ලාන්ත වූ විට සිත නොසන්සුන් වෙයි. නොසන්සුන්වූ කල්හි සමාධිය කෙරෙන් සිත ඈත් වෙයි. මහණෙනි, ඒ මම ඇතුළත්හිම සිත මනාව තබමි. හිඳුවමි. එකඟකරමි. මනාව පිහිටුවමි. ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි සිතමි.
හිංසා විතර්කයෙන් වෙන්වීම සැපයකි
මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව වසන්නා වූ ඒ මම මෙසේ දකිමි. මට මේ හිංසා නොකිරීමේ කල්පනාව උපන්නීය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි.
දෙපක්‍ෂයටම දුක් පිණිසද නොවෙයි. ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව වඩයි. දුක් උපදවන පක්‍ෂයෙහි නොවෙයි.
නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුළු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොමදකිමි. දවල් කාලය මුළුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන භයක් නොම දකිමි. රෑ දවල් දෙක්හි කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතු කොටගෙන බියක් නොදකිමි.
එසේද වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නා වූ මාගේ ශරීරය ක්ලාන්ත වෙයි. ශරීරය ක්ලාන්ත වූ විට සිත නොසන්සුන් වෙයි. සිත නොසන්සුන් වූ විට සමාධිය කෙරෙන් සිත ඈත් වෙයි. මහණෙනි, ඒ මම ඇතුළත්හිම සිත මනාව තබමි. හිඳුවමි. එකඟ කරමි. මනාව පිහිටුවමි. ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි සිතමි.
මහණෙනි, මහණතෙම යම් යම් කල්පනාවක් බහුලව නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිතේ පවත්වයිද, ඒ ඒ ආකාරයෙන් නැමීම වෙයි.
මහණෙනි, ඉදින් මහණතෙම කාමයෙන් වෙන්වීමේ කල්පනාව බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිතේ පවත්වයිද, කාම කල්පනා බැහැර කෙරේද, කාමයෙන් වෙන්වීමේ කල්පනාව බහුල කෙරේද, ඔහුගේ සිත කාමයෙන් වෙන්වීමේ කල්පනාව පිණිස නැමෙයි.
මහණෙනි, ඉදින් මහණතෙම මෛත්‍රී කල්පනාව බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි කෙරේද, ක්‍රෝධ කල්පනා බැහැර කෙරේද, මෛත්‍රි කල්පනා බහුල කෙරේද, ඔහුගේ ඒ සිත මෛත්‍රි කල්පනාව පිණිස නැමෙයි.
මහණෙනි, ඉදින් මහණතෙම හිංසා නොකිරීමේ කල්පනා බොහෝ කොට කෙරේද, නැවත නැවත සිත්හි කෙරේද, හිංසා කිරීමේ කල්පනා බැහැර කෙරේද, මෛත්‍රි කල්පනා බහුල කෙරේද, ඔහුගේ ඒ සිත මෛත්‍රී කල්පනාව පිණිස නැමෙයි.
එකඟ වූ සිත
මහණෙනි, යම්සේ ගී‍්‍රෂ්ම ඍතුවට අයත් අන්තිම මාසයෙහි සියලු ශස්‍යයන් ගමට ගෙන ගිය කල්හි ගොපලුතෙම ගවයන් නොරක්නේද, ගසක් යටට වී හෝ එළිමහන් තැනකට වී හෝ මේ ගවයන් යැයි සිහිකිරීම පමණක් ඔහුට ප්‍රමාණවත් වෙයිද, මහණෙනි, එපරිද්දෙන්ම මේ ධර්මයන් යැයි සිහිකිරීම පමණක් ප්‍රමාණවත්ය.
මහණෙනි, ඒ මාගේ වීර්ය නොහැකිළි ආරම්භ විය. සිහිය එළඹ සිටියාය. කය සංසිඳුණේය. සැහැල්ලු විය. සිත සමාධිමත් විය. එකඟවිය.
මහණෙනි, ඒ මම කාමයෙන් වෙන්වම සියලු අකුශලයන්ගෙන් වෙන්වම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් පී‍්‍රතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. විතර්ක විචාර දෙදෙනාගේ සන්සිඳීමෙන් හිතේ පැහැදීම ඇත්තා වූ, හිතේ එකඟකම ඇත්තා වූ විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් පී‍්‍රතිය හා සැපය ඇති දෙවෙනි වූ ධාන්‍යයට එළඹ වාසය කෙළෙමි. පී‍්‍රතිය ඉක්මවීමෙන් උපේක්‍ෂා ඇත්තේ සිහි නුවණින් යුක්ත වූයේ කයින් සැපය වින්දෙමි. යම් ධ්‍යානයක් උපෙක්‍ෂා ඇත්තේ සිහියෙන් යුක්ත වූයේ සැප විහරණ ඇත්තේ යැයි ආර්යයෝ කියත්ද, ඒ තුන් වැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි.
ධ්‍යානගත වූ සිත හා පෙර උපන් ජාති සිහිපත් කිරීම
සැපද නැති කිරීමෙන් දුක්ද නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තා වූ සැප නැත්තා වූ උපේක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසුදු බැව් ඇති සතරවැනි ධ්‍යානයට එළඹ වාසය කළෙමි. ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟ වූ කල්හි, පිරිසුදු වූ කල්හි දීප්තිමත් වූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි පහවූ උවදුරු ඇති කල්හි, මෘදු වූ කල්හි, කාර්යයට සුදුසුව සිටි කල්හි, චංචල නොවී සිටිකල්හි පෙර විසූ කඳ පිළිවෙළ දැනීම පිණිස සිත නැමුයෙමි. ඒ මම නොයෙක් ආකාර වූ පූර්වේනිවාසය (පෙර උපන් ජාති) සිහි කරමි. එනම් එක් ජාතියක්ද ,ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද , ජාති විස්සක්ද ,ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද,ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවන) කල්පයන්ද, නොයෙක් වර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද,අසුවල් තැන උපන්නෙමි. එහි මේ නම් ඇත්තේ වුණෙමි, මෙබඳු වර්ණ ඇත්තේ වුණෙමි, මෙබඳු ආහාර ඇත්තේ වුණෙමි, මෙබඳු ගෝත්‍ර ඇත්තේ වුණෙමි, මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වුණෙමි, මෙබඳු ආහාර ඇත්තෙක් වුණෙමි, මෙබඳු සැප දුක් විඳින්නෙක් වුණෙමි, මෙබඳු ආයුධ ඇත්තේ වුණෙමි, ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍ය භවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිත වූ , නන් වැදෑරුම් වූ පෙර විසු කඳ පිළිවෙළ සිහි කරමි.
මහණෙනි, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.
ධ්‍යානගත වූ සිත හා චුති – උප්පත්ති දැකීම
ඒ මම මෙසේ හිත සමාධියෙන් එකග වූ කල්හි, පිරිසුදුවු කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කාර්යයට සුදුසුව සිටි කල්හි, චංචල නොවී සිටි කල්හි, සත්වයන්ගේ චුති උත්පත්ති දැකීම , පිණිස සිත නැමීමි. ඒ මම පිරිසුදු වූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නා වූ ද, උපදින්නා වූ ද, ලාමක වූ ද, ප්‍රණීත වූද, මනා වර්ණ ඇත්තා වූ ද, මනා වර්ණ නැත්තා වූ ද, යහපත් ගති ඇත්තා වූ ද, අයහපත් ගති ඇත්තා වූ ද, කර්මය පරිදි මිය ගියා වූ සÀවයන් දකිමි.
ඒකාන්තයෙන් මේ සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු. වාග් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ඨි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ඨි කර්ම අනුමත කළාහුය.(එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාග් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ඨි ඇත්තාහු, සම්‍යක්දෘෂ්ඨී කර්ම සමාදන් වූවාහු වන හෙයින් ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයැයිද මෙසේ පිරිසුදුව,ූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්,චුත වන්නා වූ ද, උපදින්නා වූ ද, ලාමක වුද, ප්‍රණීත වූ ද, මනා වර්ණ ඇත්තා වූ ද, මනා වර්ණ නැත්තා වූ ද, යහපත් ගති ඇත්තා වූ ද, අයහපත් ගති ඇත්තා වූ ද, කර්මය පරිදි මිය ගියා වූ සත්වයන් දකිමි.

මහණෙනි, මා විසින් රාත්‍රියෙහි මැද යාමෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම් , ඉපදීම්, දක්නා නුවණ) ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නිය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නකුට යම් සේ සිදුවිය යුතු නම් එසේ විය.
ධ්‍යානගත වූ සිත හා සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වීම
ඒ මම මෙසේ සිත එකඟ වූ කල්හි ආශ්‍රවක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන) නුවණ පිණිස සිත නැමුයෙමි. ඒ මම මෙය දුකයයි තතු සේ දත්තෙම්. මේ දුක් ඉපදීමට හේතුව යැයි තතුසේ දත්තෙමි.
මේ දුක් නැති කිරීම යැයි තතු සේ දත්තෙමි. මේ දුක් නැති කිරීමේ මාර්ගයයැයි තතු සේ දත්තෙමි. මොහු ආශ්‍රවයෝ (කාම ආදී කෙලෙස්) යයි තතුසේ දැන ගතිමි.
මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයැයි තතුසේ දැන ගතිමි. මේ ආශ්‍රවයන්ගේ නැති කිරීමයැයි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගයයි තතු සේ දැන ගත්තෙමි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඒ මාගේ් සිත කාමාශ්‍රවයෙන්ද මිදුණේය.
භවාශ්‍රවයෙන්ද මිඳුණේය. අවිද්‍යාශ්‍රවයෙන්ද මිඳුණේය. මිඳුණ කල්හි මිඳුණේයැයි දැනීම පහළ විය.උත්පත්තිය කෙළවර විය.
බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී.මේ අර්හත්වය පිණිස කළ යුතු අනිකක් නැත්තේයයි දත්තෙමි.
මහණෙනි, රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රවක්ෂයකර ඤාණ නම් වූ අර්හත් මාර්ගය) මා විසින් ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය.
අඳුර (මෝහය) නසන ලද්දේය.ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නකුට යම් සේ සිදුවිය යුතු නම් එසේම විය.
මුව සමූහය හා අනර්ථය කැමැති පුරුෂයා
මහණෙනි, මහ වනයෙහි මහ වන ලැහැබක මහත් වූ මිටි වූ තැනිතලාවක් යම් සේ වේද, ඒ මේ තැනිතලාවක් ඇසුරුකොට මහත් මුව සමුහයෙක් වාසය කෙරෙති. ඒ මෘග සමූහයාට අනර්ථය කැමැත්තා වූ අවැඩ කැමැත්තා වූ අභය නොකැමැත්තා වූ කිසියම් පුරුෂයෙක් තෙම පහළ වෙයි. හෙතෙම ඒ ස්ථානයට භය නැතිව පහසුවෙන් යා හැකි මාර්ගය වසන්නේය. නපුරු මග විවෘත කරන්නේය. දඬුමුවා සිටුවන්නේය. දඬුමුවදෙන සිටුවන්නේය. මහණෙනි, මෙසේ වූ කල්හි ටික කලකින් ඒ මහා මුව සමූහයා විනාශයට , තුනී බවට පැමිණෙන්නේය.
මුව සමූහය හා අර්ථය කැමැති පුරුෂයා
මහණෙනි, එම මහත් මුව සමූහයාගේ අභිවෘද්ධිය කැමැත්තා වූ වැඩ කැමැත්තා වූ අභය කැමැත්තාවූ කිසියම් පුරුෂයෙක් පහළ වෙයි. හෙතෙම ඒ ස්ථානයට භය නැතිව පහසුවෙන් යා හැකි මාර්ගය විවෘත කරන්නේය. නපුරු මාර්ගය වසන්නේය. දඬුමුවා නසන්නේය. දඬුමුවදෙන නසන්නේය. මහණෙනි, මෙසේ වූ කල්හි ඒ මහත් මුව සමූහය ටික කලකින් අභිවර්ධනයටද , දියුණුවටද , ස්ථිර බවටද මහත් බවටද පැමිණෙන්නේය.
මුව සමූහය හා පුරුෂයා යනු කවරහුද?
මහණෙනි, අර්ථය තේරුම් කිරීම පිණිස මා විසින් මේ උපමාව දක්වන ලදී. මෙහි මේ අර්ථයයි. මහණෙනි, මහත් වූ මිටියාවත යනු පංචකාමයන්ට නමෙකි. මහණෙනි, මහා මෘග සමූහය යනු සත්වයන්ට නමකි. අවැඩ කැමැති, අනර්ථය කැමැති, අභය නොකැමැති පුරුෂයා යනු මාරයාට නමකි. නපුරු මාර්ගය යනු අංග අටකින් යුක්ත වූ වැරැදි මාර්ගයට නමකි. එනම් වැරැදි දැකීම, වැරැදි කල්පනාව, වැරැදි වචනය, වැරැදි කර්මාන්තය, වැරැදි ආජීවය, වැරැදි ව්‍යායාමය, වැරැදි සිහිය, වැරැදි සමාධිය යන අටයි. මහණෙනි, දඬුමුවා යනු තෘෂ්ණාවට නමෙකි. මහණෙනි, දඬුමුවදෙන යනු අවිද්‍යාවට නමකි. වැඩ කැමැති අර්ථය කැමැති, අභය කැමැති පුරුෂයා යනු අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේට නමකි. යහපත් මාර්ගය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමකි. එනම්, නිවැරැදි, දැකීම. නිවැරැදි කල්පනාව, නිවැරැදි වචනය, නිවැරැදි කර්මාන්තය, නිවැරැදි ජීවිකාව, නිවැරැදි උත්සාහය, නිවැරැදි සිහිය, නිවැරැදි සමාධිය යන අටයි. මහණෙනි, මෙසේ වනාහි මා විසින් නිර්භය වූ සැප පමුණුවන්නා වූ පහසුවෙන් යා හැකි මාර්ගය විවෘත කරන ලද්දේය. නොමඟ වසන ලද්දේය. දඬුමුවා නසන ලද්දේය. දඬුමුවදෙන නසන ලද්දේය.
මහණෙනි, ශ්‍රාවකයන්ට හිතවත් වූ අනුකම්පා ඇති ශාස්තෘ කෙනෙකු විසින් අනුකම්පාවෙන් යම්බඳු යහපතක් කළයුතුද, එය මා විසින් ඔබලාට නොඅඩුව කරන ලදී. මහණෙනි,මේ ගස් මුල් ඇත්තාහ. හිස් ගෙවල් ඇත්තාහ. එහි ගොස් භාවනා කරන්න. ප්‍රමාද නොවන්න. පසුතැවිලි නොවන්න. ඔබලාට අපගේ මේ අනුශාසනාවයි.
භාග්‍යවතුන් වහන්සේ මෙම දම් දෙසුම වදාළහ. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.

ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
.................................................................................................................................................................


 

 


What People are Saying

What People are Saying

I just finished reading my report and I am experiencing something I've never had happen to me before. I am feeling calm...centered...what I feel would be best described as inner peace. Honestly, the Past Life Reading exceeded my expectations! It answered so many questions for me...questions that I would never voice out loud and reassured me of my self-doubts. I found this reading to be quite unique and special! I laughed...I cried...and I feel validated. Please get this reading for yourself...in order to take care of you!

-- Elana,USSR

Let me start by saying thank you for this spectacular reading. I found it quite useful in my every day dealings with others etc. Everything now, has greater meaning than before I had this reading done. I must say I was skeptical at first, however, for the money, it was worth every cent! I would also like to venture further into my past lives, and find out just who I was in each of my past lives! Again, thank you Lakshmi Astrology.com for this reading, I will make reference to it from time to time.

-- Kapila Verma, Canada

Impressive! This is probably the single most helpful and inspirational astrological reading I have ever had. And I have had many. It really hit right on when it comes to my inner feelings and drives and confirmed what I have long felt but not expressed. For the first time in years I now see a clear path for my living, growth and expression.

-- Paul Daniel , United States